හෙද සේවයට නව බඳවා ගැනීම් සිදු කිරීමට අවශ්‍ය ගැසට් නිවේදන දෙකක් සිකුරාදා නිකුත් කෙරේ

හෙද සේවයේ පවතින පුරප්පාඩු සඳහා වන බඳවා ගැනීම් උදෙසා ගැසට් නිවේදන 02 ක් එළැඹෙන සිකුරාදා දින නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසනවා.

ඒ අනුව, 2020 වසරේ සිට 2022 වසර දක්වා අ.පො.ස. උසස් පෙළ විභාගයට ඉදිරිපත් වුණු පිරිසෙන් 2,650ක් සහ හෙද උපාධිය ලබා ගත් උපාධිදාරීන් 875 ක් හෙද සේවයට බඳවා ගැනීමට පියවර ගන්නා බවයි අද (15) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ.

මෙම බඳවා ගැනීම් සඳහා අදාළ ගැසට් නිකුත් කළ පසු ඔවුන්ට මේ සඳහා ඉල්ලුම් කිරීමේ හැකියාව පවතින බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.