නිර්දේශ ක්‍රියාත්මක නොකරන නිලධාරීන්ට එරෙහිව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමෙන් දැඩි ක්‍රියාමාර්ග

තම නිර්දේශ ක්‍රියාත්මක නොකරන නිලධාරීන්ට එරෙහිව දැඩිව ක්‍රියා කරන බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පවසනවා.

තම කොමිසම ලබාදෙන නිර්දේශ ක්‍රියාත්මක කිරීමට සියලු දෙනා බැඳී සිටින බවත්, ඒ පිළිබඳව සියළුම අමාත්‍යංශ ලේකම්වරු, පළාත් ප්‍රධාන ලේකම්වරුන්, පළාත් සභා ප්‍රධාන ලේකම්වරු, දෙපාර්තමේන්තු ප්‍රධානීන් හා සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩල ප්‍රධානීන් දැනුවත් කිරීමට එම කොමිසම පියවර ගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.

එමෙන්ම මානව හිමිකම් කොමිෂන් සභා පනතේ නිර්දේශයේ සඳහන් කාලය තුළ එම නිර්දේශ බලාත්මක කිරීම පිණිස එම තැනැත්තන් විසින් ගන්නා හෝ ගැනීමට බලාපොරොත්තුවන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන්ද කොමිෂන් සභාව දැනුවත් කළ යුතු බවයි සඳහන් වෙන්නේ.

එම නිර්දේශ අනුව ක්‍රියා නොකරන්නේ නම්, ඊට එරෙහිව කොමිෂන් සභාව ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අදාළ නිලධාරියා හෝ ආයතනය වගකීම භාරගත යුතු බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම වැඩිදුරටත් සඳහන් කර සිටිනවා.