ගතවූ මාස 07 තුළ වෙඩි තැබීම්වලින් පුද්ගලයන් 37 ක් මරුට

මේ වසරේ ගතවූ මාස 07ක කාලය තුළ දිවයින පුරා වෙඩි තැබීමේ සිදුවීම් 68ක් වාර්තා වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් පවසනවා.

ඒ අනුව, 2025 ජනවාරි 01 සිට 2025 ජූලි 13 දක්වා වූ කාලය තුළ වාර්තා වී ඇති මෙම වෙඩි තැබීම් වලින් 50ක් සංවිධානාත්මක අපරාධකරුවන් හා සම්බන්ධ වෙඩි තැබීම් බවත්, සෙසු 18 වෙනත් පුද්ගලයන් හා පුද්ගලික හේතු අරමුණු කර ගනිමින් සිදුකරන ලද වෙඩි තැබීම් බවයි අද (14) පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ ශ්‍රවණාගාරයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ.

එසේම, අදාළ වෙඩි තැබීම් 68 න් 37 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, ඒ අතුරින් 34 දෙනෙකු සංවිධානාත්මක අපරාධකරුවන් වන බවද, සමස්ත වෙඩි තැබීම්වලින් පුද්ගලයන් 39ක් තුවාල ලබා ඇති අතර, ඉන් 30 දෙනෙකු සංවිධානාත්මක අපරාධකරුවන් බවද ඔහු ප්‍රකාශ කළා.

වෙඩි තැබීම් 68 සම්බන්ධයෙන් වෙඩික්කරුවන් 24 දෙනෙකු, පැදිකරුවන් ලෙස කටයුතු කළ 15 දෙනෙකු සහ ආධාර අනුබල දුන් 150ක් පමණ අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.