FIFA ලෝක කුසලාන අවසන් මහා තරඟය හෙටයි

පාපන්දු ක්‍රීඩා සමාජ ලෝක කුසලාන (FIFA Club World Cup) තරගාවලියේ අවසන් මහා තරගය නිව්යෝර්ක් හි MetLife Stadium ක්‍රීඩාංගණයේ දී හෙට (14) අලුයම 12.30ට ආරම්භවීමට නියමිතය.

චෙල්සි හා පැරිස් සෙන්ට් ජර්මේන් (PSG) කණ්ඩායම් අතර මෙම තරඟය පැවැත්වේ.

මෙවර ශූරයන් සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 40ක අතිවිශාල මුදල් ත්‍යාගයක් පිරිනැමීමට ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය (FIFA) කටයුතු කර ඇති  තිබේ.

කෙසේ නමුත් මෙහි විශේෂත්වය වන්නේ මූලික වටයේ එක් එක් අදියර ජයගැනීමේ දී ද මුදල් ත්‍යාග පිරිනැමීමට FIFA කටයුතු කර තිබීමයි.

ඒ අනුව ප්‍රංශයේ PSG කණ්ඩායම මේ වනවිට අ.ඩො.මි. 107.7කට හිමිකම් කියන අතර, ඔවුන්ට ශූරතාව දිනාගැනීමට හැකිවුවහොත් අ.ඩො.මි. 147.7ක අතිදැවැන්ත ත්‍යාග මුදලකට හිමිකම්කීමට අවස්ථාව උදා වේ. එම මුදලේ මෙරට වටිනාකම රුපියල් බිලියන 44කට අධිකය.

එමෙන්ම එංගලන්තයේ චෙල්සි කණ්ඩායම ද මේ වනවිට අ.ඩො.මි. 89.5ක් හිමිකරගෙන සිටියි. ඒ අනුව ඔවුන්ට ශූරතාව හිමිකරගැනීමට හැකිවුවහොත් ඇ.ඩො.මි. 129.5කට හිමිකම් කීමට හැකිවේ. එම මුදල ද රුපියල් බිලියන 38කට අධිකය.

ඉකුත් ජුනි 14වනදා ආරම්භ වූ මෙම තරඟාවලියට ලොව පුරා පාපන්දු කලාප 6ක් නියෝජනය කරමින් කණ්ඩායම් 32ක් සහභාගි විය.

මේ අතර අවසන් මහා තරගය නැරඹීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහභාගිවීමට ද නියමිතව ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.