කැබිතිගොල්ලෑවේ උප පොලිස් පරීක්ෂක ඝාතනයට නීතිපති උපදෙස් පතයි

කැබිතිගොල්ලෑව මූලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂකවරයා ඇතුළු පොලිස් නිලධාරීන්ට පොලු මුගුරුවලින් පහරදී උප පොලිස් පරික්ෂකවරයෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකර ඇති විමර්ශන වල උදෘත නීතිපතිවරයා වෙත යවන ලෙස අධිකරණය පොලිසියට නියෝග කර තිබෙනවා.

ඒ ඊට අදාළ නඩුව කැබිතිගොල්ලෑව දිසා විනිසුරු සහ මහේස්ත්‍රාත් නිමේෂිකා පටබැදිගේ හමුවේ කැදවූ අවස්ථාවේදීයි.

මෙම සිද්ධියට අදාළව වසරකට අධික කාලයක් රිමාන්ඩ් කර සිටි සැකකරුවන් 15 දෙනා වෙන් වෙන් වශයෙන් රුපියල් ලක්ෂ පහක් වටිනා ශරීර ඇප දෙක බැගින් මීට පෙර මුදා හැරුණා.

වන අලි ප්‍රහාරයකින් පුද්ගලයෙකු මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයට ගිය පොලිස් නිලධාරීන් පිරිසකට මෙම පහරදීම සිදුකර තිබුණා.

එහිදී ප්‍රදේශවාසීන් පදවිය – කැබිතිගොල්ලෑව ප්‍රධාන මාර්ගය අවහිර කරමින් විරෝධතාවයේ නිරත වූ අවස්ථාවේදී මෙම පහරදීම සිදුවූ බවයි හිරු වාර්තාකරු සදහන් කළේ.