උතුරු මුහුදේ දී කේරළ ගංජා කිලෝ 38ක් නාවික හමුදා භාරයට

රුපියල් මිලියන 15කට අධික වටිනාකමක් සහිත කේරළ ගංජා කිලෝග්‍රෑම් 38යි ග්‍රෑම් 700ක පමණ තොගයක් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ඊයේ (12) යාපනය, එළුවතිව් දූපතට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී සොයාගෙන තිබෙනවා.

නාවික හමුදාව නිවේදනය කළේ, උතුරු නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකාව වන එලාර මගින් මෙම සෝදිසි මෙහෙයුම දියත් කර ඇති අතර, එහිදී මුහුදේ පාවෙමින් තිබූ සැකකටයුතු උරයක් නිරීක්ෂණය කර පරීක්ෂා කිරීමෙන් අනතුරුව මෙම ගංජා තොගය සොයාගත් බවයි.

නාවික හමුදා මෙහෙයුම් හමුවේ ගොඩබිමට රැගෙන ඒමට නොහැකිව ජාවාරම්කරුවන් විසින් එළුවතිව් මුහුදේ අතහැර දමා යන්නට ඇතැයි සැක කෙරෙන මෙම ගංජා තොගයේ දළ වටිනාකම රුපියල් මිලියන 15 ඉක්මවන බව නාවික හමුදාව පවසන්නේ.

නාවික හමුදා භාරයට ගත් කේරළ ගංජා තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා කයිට්ස් පොලිසිය වෙත භාර දී තිබෙනවා.