ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ දුම්රිය ස්ථානාධිපතිවරු තනතුරු සඳහා පිරිමි පුද්ගලයින්ට පමණක් අයදුම් කළ හැකි බවට ගෙන තිබෙන තීරණය තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා කාන්තාවන් දෙදෙනෙකු විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබෙනවා.
දුම්රිය ස්ථානාධිපති පුරප්පාඩු 106 ක් පිරවීම සඳහා ජුනි 13 වැනිදා ගැසට් නිවේදනයක් ප්‍රකාශයට පත් කර තිබුණු බවත්, එම ගැසට් නිවේදනයේ ‘පිරිමි පුද්ගලයින්ට පමණක්’ මෙම තනතුරු සඳහා අයදුම් කළ හැකි බවට දක්වා තිබුණු බවත්, එය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි ක්‍රියාවක් බවයි පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා පෙන්වා දී ඇත්තේ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ, පෙත්සම්කාර කාන්තාවන්ට නීතිය ඉදිරියේ සමාන සැලකිලි ලැබීමට ඇති මූලික අයිතිය සහ ලිංගිකත්වය මත වෙනස් ආකාරයේ සැලකිල්ලකට භාජනය නොකළ යුතු බව සඳහන් මූලික අයිතීන් ද, යමෙකුට තමන් කැමති රැකියාවක් කිරීමට තිබෙන මූලික අයිතිය ද මෙම ගැසට් නිවේදනය තුළින් උල්ලංඝනය වන බව නීතිඥවරයා පවසා සිටියා.
මෙම ගැසට් නිවේදනය මගින් සිය සේවාදායකයින්ගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට නියෝගයක් නිකුත් කරන ලෙසත්, අදාළ ගැසට් නිවේදනයේ ‘පිරිමි පුද්ගලයින්ට පමණක්’ මෙම තනතුරු සඳහා අයදුම් කළ හැකි බවට සඳහන් කොටස ඉවත් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසයි නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේ.
එම කරුණු සලකා බැලූ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් පෙත්සම්කරුවන්ගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇතිද යන්න සොයා බැලීම සඳහා පෙත්සම විභාගයට කැඳවීමට නියම කළ අතර, එම පෙත්සම අගෝස්තු 27 වැනිදා යළි විභාගයට ගැනීමට නියමිත බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.