සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අනුව, 73% ක් උසස් පෙළට සුදුසුකම් ලබයි

2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵලවලට අනුව සිසුන් 237,026 දෙනෙකු උසස් පෙළට සුදුසුකම් ලබා ඇති බව විභාග කොමසාරිස් ජනරාල් ඒ.කේ.එස්. ඉන්දිකා කුමාරි පවසනවා.

ඒ අනුව, මෙවර විභාගයට පෙනී සිටි ශිෂ්‍ය සංඛ්‍යාවෙන් 73.45% ක ප්‍රතිශතයක් උසස් පෙළට සුදුසුකම් ලබා ඇති බවයි ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ අද (11) පෙරවරුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඇය සඳහන් කළේ.

සියලුම විෂයයන් (09) සඳහා A සාමාර්ථ ලබාගත් 13,392 ක් සිටින බවත්, එය සමස්ත සමත් ප්‍රතිශතයෙන් 4.15% ක් බවත්, සියලුම විෂයයන් අසමත් සිසුන් 2.34% ක ප්‍රතිශතයක් සිටින බවත් සඳහන් වෙනවා.

එසේම ගණිතය විෂය 69.07% ක පිරිසක් සමත් වී ඇති අතර, විද්‍යාව විෂය 71.06% ක ප්‍රතිශතයක් සමත් වී ඇති බවයි විභාග කොමසාරිස් ජනරාල්වරිය වැඩිදුරටත් පවසා සිටියේ.