බන්ධනාගාර නිලධාරීන් අතළොස්සක් නිසා එම දෙපාර්තමේන්තුව පිළිබඳව ජනතා විශ්වාසය පළුදුවීමක් විය හැකි වුවද සමස්තයක් වශයෙන් බන්ධනාගාර නිලධාරීන් සියලුදෙනා හොදින් තම රාජකාරි ඉටු කරන බව බන්ධනාගාර කොමසාරිස් (මාධ්‍ය ප්‍රකාශක) ජගත් වීරසිංහ මහතා පැවැසීය.
එමෙන්ම බන්ධනාගාර දෙපාර්තමේන්තුව පිළිබඳව මහජනතාවගේ විශ්වාසය දිනාගත හැකි ආකාරයට කටයුතු මෙහෙයවමින් සිටින බව ද ඒ මහතා කීය.
බන්ධනාගාර දෙපාර්තමේන්තු මූලස්ථානයේ ඊයේ (09) පැවැති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් බන්ධනාගාර කොමසාරිස් ජගත් වීරසිංහ මහතා මේ බැව් ප්‍රකාශ කළේය.
එහිදී ජගත් වීරසිංහ මහතා අවධාරණය කළේ බන්ධනාගාරවල සිටින රිමාන්ඩ් සිරකරුවන්ගෙන් වැඩි ප්‍රතිශතයක් මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරදිවලට බන්ධනාගතවුවන් බවත් මෙයින් බොහෝ දෙනකු තරුණ වයසේ පසුවන්නන් වීම රටේ ඉදිරිගමනට බාධාවක් බවත්ය.
‘මෙරට බන්ධනාගාර තුළ රැඳවිය හැකි උපරිම ධාරිතාව රැඳවුවන් 12,000 ක් වර්තමානය එහි රැඳවුවන් 33,000 ක් රඳවා සිටිනවා.මෙයින් නිත්‍ය සිරකරුවන් 9,200 ක් වන අතර රිමාන්ඩ් සිරකරුවන් සංඛයාව 21,000 ක් පමණ වනවා. බන්ධනාගාර 36 ක මේ අය රඳවා සිටිනවා. එම රැඳවුවන්ගෙන් සියයට 65 ක් මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරදිවලට බන්ධනාගාරගත වූවන්.මේ අය බහුතරය තරුණ වයසේ පසුවන්නන්.
මත්ද්‍රව්‍ය භාවිති නොකිරීමට තරුණ පරපුර දැනුවත් කර බන්ධනාගාරය වෙත පැමිණීම වැලැක්විමට අප කටයුතු කළ යුතුයි.
ප්‍රභූන් බන්ධනාගාරගත වූ වහාම බන්ධනාගාර රෝහල වෙත යොමු කිරීම පිළීබඳව මෙහිදී මාධ්‍යෙව්දීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් බන්ධනාගාර නොමසාරිස් වීරසිංහ මහතා අවධාරණය කළේ මෑතකාලයේ එවැනි නිර්දේශ නොලැබීම නිසා මැති ඇමතිවරු බන්ධනාගාරයන් හි සිරමැදිරි තුළ සිටින බවයි.
මැති ඇමතිවරු ඇතුළු ප්‍රභූන් බන්ධනාගාරගත වූ වහාම රෝහල්තවීම කියන තීරණය බන්ධනාගාර නිලධාරීන් තීරණය කරන කරුණක් නොවේ. රැඳවුවකුට යම් රෝග ලක්‍ෂණයක් තිබේ නම් /ඇති වූයේ නම් බන්ධණාගාර වෛද්‍යවරයාට එම රැඳවුවා ඉදිරිපත් කළ පසු රෝහල්ගත කළයුතු යැයි නිර්දේශයක් දෙන්නේ නම් එයට බන්ධනාගාර නිළධාරින්ට විරුද්ධ වියනොහැකි බවද ඒ මහතා සඳහන් කළේය.
බන්ධනාගාර නිලධාරීන් රැඳවුවන්ගෙන් සේවා ලබා ගැනීම පිළිබඳව කළ විමසුමකදී ඒ මහතා පැවැසුවේ නිළධාරි නිවස්න රජය සතු දේපළක් වීම නිසා එම දේපළ සහ වටපිටාව ඇතුළු සියලු දේවල්වල වැඩකටයුතු සිරකරුවන් ලවා කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුවට නීතිමය ප්‍රතිපාදන ඇති බවයි. කෙසේ වෙතත් ඔවුන් ළවා ආහාර පිසීම වැනි නිවස අභ්‍යන්තර කටයුතු සිරකරුවන්ගෙන් ඉටු කරනොගන්නා බවත් වීරසිංහ මහතා කීය.
බන්ධනාගාර නිලධාරී හිඟය වර්තමානයේ පවතින බැවින් බන්ධනාගාර නිළධාරින් අතිශය කර්යබහුල බවද බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩි දුරටත් සඳහන් කළේය.
බන්ධනාගාර කොමසාරිස් (කර්මාන්ත) සේනක පල්ලෙතැන්න මහතා ද මේ අවස්ථාවට එක්ව සිටියේය.