ජොන්ස්ටන්ගේ හෝටලයකට පහරදුන් කොළඹ හිටපු නාගරික මන්ත්‍රීවරයෙකු ඇතුළු පිරිසකට අත්හිටවූ සිර දඬුවම්

ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ හෝටලයකට පහරදුන් කොළඹ හිටපු නාගරික මන්ත්‍රී මොහොමඩ් අනාස් ඇතුළු විත්තිකරුවන් දස දෙනෙකුට බරපතළ වැඩ සහිත වසර දෙක බැගින් වූ සිර දඬුවම් නියම කොට, එය අත්හිටුවීමට කොළඹ මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න විසින් අද (09) නියෝග කර තිබෙනවා.

ඒ අනුව, විත්තිකරුවන් නව දෙනෙකුට රුපියල් 65,000 බැගින් දඩ නියම කර ඇති අතර, අදාළ හෝටලයේ ලැප්ටොප් පරිගණකයක් පැහැරගැනීමේ සිද්ධියට සම්බන්ධ විත්තිකරුට රුපියල් 80,000ක දඩයක්ද නියම කර ඇති බවයි සඳහන් වන්නේ.

මෙම නඩුව අද කැඳවූ අවස්ථාවේදී විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණයට දන්වා සිටියේ තම සේවාදායකයින් මෙම චෝදනාවලට මුල් අවස්ථාවේදීම වරද පිළිගැනීමට සූදානම් බවත්, සිදුවූ අලාභය වෙනුවෙන් රුපියල් ලක්ෂය බැගින් වන්දි ගෙවීමට සූදානම් බවට ප්‍රකාශ කර තිබෙන බවයි.

මෙහිදී අගතියට පත් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නිරෝෂන් සිරිවර්ධන සඳහන් කළේ, විත්තිකරුවන් ගෙවීමට පොරොන්දු වූ වන්දිය භාර ගැනීමට තම සේවාදායකයා අකමැති බවත්, ඔවුන් වරද පිළිගෙන ඇති නිසා ඔවුන්ගෙන් කිසිදු වන්දියක් සිය සේවාදායකයා අපේක්ෂා නොකරන බවයි.

විත්තිකරු සිදු කර තිබෙන්නේ බරපතළ වරදක් බවත්, ඔහුගේ නීතිඥවරයා ඉදිරිපත් කළ කරුණු සලකා බලා යළි සමාජගත විය හැකි දඬුවමක් ලබා දීමට කටයුතු කරන බවත් මහාධිකරණ විනිසුරුවරිය පවසා සිටියා.

ඒ අනුව එක් එක් විත්තිකරුට බරපතල වැඩ සහිත වසර දෙක බැගින් සිර දඬුවම් නියම කළ අතර, එය වසර 10 සිට 15 දක්වා අත්හිටුවීමට නියම කරන බවත් මහාධිකරණ විනිසුරුවරිය සිය තීන්දුවෙන් සඳහන් කර තිබෙනවා.

2022 මැයි 09 වැනිදා ගාලු මුවදොර ‘ගෝඨාගෝ ගම’ අරගල භූමියට පහරදීමෙන් අනතුරුව, කොළඹ යූනියන් පෙදෙසේ පිහිටි හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ සංචාරක හෝටලයකට පොලු මුගුරු රැගෙන කඩා වැදී එම ස්ථානයට අලාභ හානි කිරීම සහ නවතා තිබූ වාහන දෙකකට අලාභ හානි කිරීම සම්බන්ධයෙන් ඔවුන්ට චෝදනා එල්ල වී තිබුණා.