ඉන්දියාවේ පාලමක් කඩා වැටී පුද්ගලයන් 10 ක් මරුට

ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ පාලමක් කඩා වැටීමෙන් පුද්ගලයන් දස දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

මෙම පාලමෙහි කොටසක් කඩා වැටීමත් සමඟ ට්‍රක් රථ දෙකක්, මෝටර් රථයක් ඇතුළු වාහන 04 ක් ගංගාවට වැටී ඇති බවත්, පුද්ගලයන් පස් දෙනෙකු දිවි බේරාගෙන ඇති බවත්, ඔවුන් ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර ඇති බවයි සඳහන් වන්නේ.

තවත් පිරිසක් අතුරුදහන් වී ඇති අතර, ඔවුන් සොයා ගලවා ගැනීමේ කණ්ඩායම් මේ වනවිට මෙහෙයුම් දියත් කර ඇති බවද ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කර සිටිනවා.

1985 දී විවෘත කරන ලද මෙම පාලම කුළුණු 23 ක් මත ඉදිකර ඇති අතර, මීටර් 900කට ආසන්න දිගකින් යුක්ත වනවා.