මදුරු මර්දන සතියේදී 3,812 කට රතු නිවේදන නිකුත් කෙරේ

පසුගිය සතියේදී ක්‍රියාත්මක කරන ලද ජාතික මදුරු මර්දන සතියේදී දිවයින පුරා පරිශ්‍ර 144,250 ක් පරීක්ෂාවට භාජනය කළ බව ජාතික ඩෙංගු මර්ධන ඒකකය පවසනවා.

ඒ අනුව, එම සතිය තුළදී මදුරුවන් බෝවිය හැකි යැයි හඳුනාගත් පරිශ්‍ර 35,495 ක් හඳුනාගත් බවත්, මදුරු කීටයින් සහිත පරිශ්‍ර 4,275 ක් හඳුනාගත් බවයි ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ විශේෂඥ වෛද්‍ය ප්‍රශිලා සමරවීර සඳහන් කළේ.

එහිදී රතු නිවේදන 3,812ක් නිකුත් කර ඇති අතර, පරිශ්‍ර 982ක් සඳහා නීතිමය ක්‍රියාමාර්ග ගනු ලැබූ බවත් සඳහන්.

එසේම, මෙහිදී පාසල් පරිශ්‍ර 400ක් නිරීක්ෂණය කළ බවද, එහිදී පාසල් 226ක් මදුරුවන් බෝවිය හැකි ස්ථාන ලෙස හඳුනාගෙන ඇති බවද එම වෛද්‍යවරිය ප්‍රකාශ කළා.

එසේම ජාතික මදුරු මර්දන සතියේදී නිවාස 131,789 ක් පරීක්ෂා කළ බවත්, ඉන් 31,967 ක් මදුරුවන් බෝවිය හැකි ස්ථාන ලෙස හඳුනාගෙන ඇති බවයි ඇය වැඩිදුරටත් සඳහන් කළේ.