පාකිස්ථානයේ ළමා ශ්‍රමිකයින් මිලියනයක් ගැන අනාවරණයක්

2022-2024 සින්ද් ළමා කම්කරු සමීක්ෂණයට අනුව පාකිස්ථානයේ සින්ද් හි වයස අවුරුදු 5 සහ 17 අතර ළමුන් මිලියන 1.6කට වැඩි පිරිසක් ළමා ශ්‍රමිකයින් ලෙස සිටින බව අනාවරණ වී තිබෙනවා.

යුනිසෙෆ් සහ සංඛ්‍යාලේඛන කාර්යාංශයේ තාක්ෂණික සහාය ඇතිව පළාත් කම්කරු දෙපාර්තමේන්තුව විසින් පවත්වන ලද සමීක්ෂණය, පළාතේ ළමා සුබසාධනය පිළිබඳ දරුණු චිත්‍රයක් මවාපා ඇතැයි පකිස්තාන මාධ්‍ය වාර්තා කරනවා.

එම සමීක්ෂණ වාර්තා අනුව ළමා ශ්‍රමයේ යෙදී සිටින වයස අවුරුදු 10-17 අතර ළමුන්ගෙන් සියයට 50.4ක් දිගු පැය, අධික උෂ්ණත්වයට නිරාවරණය වීම සහ අනාරක්ෂිත මෙවලම් භාවිතය ඇතුළු අනතුරුදායක තත්වයන් යටතේ වැඩ කරන බව අනාවරණ වී තිබෙන බවයි එම මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.

මේ අතර එම සමීක්ෂණයේ ව්‍යාපෘති අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ කම්කරු අධ්‍යක්ෂ ජනරාල් මුහම්මද් අලි ෂා පවසා ඇත්තේ 1996 ට සාපේක්ෂව ළමා ශ්‍රමයේ සමස්ත සිදුවීම සියයට 50 කින් පමණ අඩු වී ඇති බවයි.

‍එමෙන්ම සින්ද්හි වැඩ කරන සහ වැඩ නොකරන ළමුන් අතර පාසල් පැමිණීමේ කැපී පෙනෙන බෙදීමක් ද සමීක්ෂණයෙන් අනාවරණය වී තිබෙනවා.

එමෙන්ම කුමන හෝ ආදායම් මාර්ගයක නිරත විය හැකි වියට පැමිණීමෙන් පසු පිරිමි දරුවන් පාසල් හැර යාම ඉහළ ගොස් ඇති අතර ගෘහස්ත ක්‍රියාකාරකම් හේතුවෙන් ගැහැණු ළමුන් උසස් අධ්‍යාපනය මග හරින බවත් එම වාර්තාවේ සඳහන් බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.