වැලිගම ප්‍රදේශීය සභාවේ මන්ත්‍රීවරුන් දෙදෙනා පැහැර ගැනීම මාලිමාව සැලසුම් සහගතව සිදුකළ ක්‍රියාවක් බවට චෝදනාවක්

පසුගියදා වැලිගම ප්‍රදේශීය සභාවේ සභිකයින් දෙදෙනෙක් පැහැර ගැනීමේ ක්‍රියාව ජාතික ජන බලවේගය සැලසුම් සහගතව සිදුකළ ක්‍රියාවක් බව සමගි ජන බලවේගය ප්‍රමුඛ එම ප්‍රදේශීය සභාවේ සභිකයින් පවසනවා.

ඒ අනුව අදාළ සිද්ධිය වූ ‍දිනයේ උදෑසන එම මන්ත්‍රීවරයා සහ මන්ත්‍රීවරිය JI 8352 දරණ රතු පැහැති ත්‍රීරෝද රථයෙන් පැමිණ ඇති බවත් ඉන් අනතුරුව ඔවුන් සුඛෝපභෝගී මොන්ටෙරෝ ජීප් රථයකට ගොඩවී ඇති බවයි වැලිගම ප්‍රදේශී සභාවේ හිටපු සභාපති පුෂ්ප කුමාර බැට්ටගේ සඳහන් කළේ.

මෙහිදී එම සිද්ධිය ඇසින් දුටු බවට සඳහන් කරමින් තනූජා අමරසේන නැමති කාන්තාවක්ද මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ අතර එහිදී ඇය සඳහන් කළේ, සිද්ධිය සිදුවූ දින උදෑසන මන්ත්‍රීවරයා සහ මන්ත්‍රීවරිය රතු පැහැති ත්‍රීරෝද රථයකින් පැමිණ මෝටර් රථයකට ගොඩ වූ බවත් ඔවුන් සුහද ශීලීව කතා කරන ආකාරයක් දුටු බවයි.

එසේම ඇය පැහැර ගැනීමට ලක්වූ බවට දැනගත් පසු තමන් දුටු සිදුවීම සම්බන්ධයෙන් පොලීසියට ප්‍රකාශයක් ලබාදුන් බවත් ඔවුන් එම අවස්ථාවේදී හැසිරුණු ආකාරය අනුව පැහැර ගැනීමක් සිදුවූ බවට පෙන්නුම් නොකළ බව තනූජා අමරසේන නැමති කාන්තාව වැඩිදුරටත් ප්‍රක‍ාශ කළා.