කෝටි හතරක් පැහැරගත් මුදල් භාරකරුට වැඩ වරදී

ව්‍යාපාරික ආයතනවලින් දෛනිකව එකතු වන මුදල් ගෙන ගොස් කොළඹ මූල්‍ය ආයතනවලට භාර දීමේ රාජකාරියේ නිරත වී සිටි මුදල්  භාරකරුවෙකු, තවත් සගයින් දෙදෙනෙකු සමඟ එක් වී පැහර ගත් රුපියල් හාර කෝටි හැට නව ලක්ෂ නවසිය හතලිහක මුදලක්, පැය 24 ක් ගත වීමට මත්තෙන් අද (05) දින කටාන පොලීසියේ නිලධාරීන් පිරිසක් විසින් සොයාගෙන අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම මුදල් භාරකරු , සිය රියැදුරුවරයා සමඟ මෝටර් රථයකින් , කිඹුලපිටිය ප්‍රදේශයේ මෝටර් රථ අලෙවි කරන ආයතනයක මුදල් භාර ගැනීම සදහා පෙරේදා (03) දින රාත්‍රී 06.30 ට පැමිණ ඇත.

එහිදී කටියල පළතුරු කම්හලට හැරෙන හංදියේ දී තම මුදල් රැගත් මෝටර් රථය, යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු  හරස් කර මුදල් රැගෙන පළා ගිය බව මුදල් භාරකරු පොලීසිය හමුවේ පැමිණිලි කර ඇතැයි සඳහන් වේ.

මේ පිළිබද වහා ක්‍රියාත්මක වූ පොලීසිය, මුදල් භාරකරු  එසේ පැමිණෙන අතරතුර, අතරමගදී  තවත් මෝටර් රථයක රියැදුරුවරයෙකු  සමග කිසියම් කතාබහක නිරත වන ආකාරය, ප්‍රදේශයේ ආරක්ෂක කැමරා පද්ධති නිරීක්ෂණය කිරීමෙන් පොලීසිය අනාවරණය කර ගෙන තිබේ .

ඒ අනුව ඉදිරි විමර්ශන කටයුතු මෙහෙය වූ කටාන පොලිසිය , මුදල් භාරකරු අතරමග දී කතා කළ මෝටර් රථය, මුදල් භාරකරු ගමන් ගත් මෝටර් රථයේ රියැදුරුවරයාගේ ඥාතී සොහොයුරෙකු බවත්, ඔවුන් දෙදෙනාම කඩවත ප්‍රදේශයේ පදිංචිකරුවන් බවත් අනාවරණය විය .

අද (05) දහවල් වනවිට මුදල් භාරකරු, ඔහුගේ රියැදුරුවරයා සමඟ ඔහුගේ ඥාතී සොහොයුරු රියැදුරු ද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන විමර්ශන ආරම්භ කර තිබූ අතර, කඩවත ප්‍රදේශයේ පිහිටි ඥාතී සොහොයුරු නිවසෙහි , පැහැර ගත් බවට සඳහන් කළ මුදල සගවා තිබියදී, පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම අත්අඩංගුවට ගැනීම සහ මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු මීගමුව කොට්ඨාශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අශෝක ධර්මසේන මහතාගේ උපදෙස් මත සහකාර පොලිස් අධිකාරී ලාල් චන්ද්‍රසිරි මහතාගේ අධීක්ෂණය යටතේ කටාන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුදසිංහ , අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක අයේෂ් පෙරේරා , උප පොලිස් පරීක්ෂකවරුන් වන සේනාරත්න, ඩයස් , පොලිස් සැරයන් 38852 දුලිප් , පොලිස් කොස්තාපල්වරුන් වන 82758 කුළතුංග , 97902 ධනංජය සහ 102353 අකලංක යන නිලධාරී මහත්වරුන් විසින් සිදු කරමින් සිටිති.

කටුනායක ටී.කේ.ජී.කපිල