තෝරු, මෝරු, නිල් තල්මස්සු වගේ අය තමා අපි අත්අඩංගුවට ගන්නේ – බිමල් රත්නායක

රටේ මහජන මුදල් සොරාකන පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක පවසනවා.

ඒ අනුව, මේ වන විට නීතිය ක්‍රියාත්මක කිරීම උඩ සිට ආරම්භ කර ඇති බවත්, දැන් අත්අඩංගුවට ගැනීම් සිදු කරන්නේ තෝරු, මෝරු, නිල් තල්මස්සු වැනි පිරිස් බවයි නිරීක්ෂණ චාරිකාවකට එක්වීමෙන් අනතුරුව සේවකයින් අමතමින් අමාත්‍යවරයා සඳහන් කළේ.

එසේ සිදු කරන්නේ ‘පොඩි මාළුන්ට’ ඒවා දැක බලාගෙන නිවැරදිවීමට බවද, ඉතාම ඉහළ දේශපාලඥයින් හා ඉතාම ඉහළ නිලධාරීන් වංචා දූෂණ සිදු කිරීම නිසා අද වන විට අත්අඩංගුවට පත්වෙමින් සිටින බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

රජයේ සිටින තමා ඇතුළු පිරිස් සොරකම් නොකරන බවත්, වංචා හා දූෂණ සිදු නොකරන ලෙස නිලධාරීන්ට ද පවසන බවත්, එලෙස සිදුකර හසුවුවහොත් දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බවයි ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක වැඩිදුරටත් සඳහන් කර සිටියේ.