විශේෂඥ වෛද්‍ය මහේෂි විජේරත්නගේ ඇප ඉල්ලීම සලකා බැලීම ලබන 08 වනදා

අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ වෛද්‍ය මහේෂි විජේරත්නගේ ඇප ඉල්ලීම පිළිබඳව ලබන 08වනදා කරුණු දක්වන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විත්තියේ නීතිඥවරුන්ට අද (04) නියම කළා.

සැකකාර වෛද්‍යවරිය ඇප මත මුදාහරින ලෙස ඉල්ලා ඇය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා අද (04) මෝසමක් ඉදිරිපත් කරමින් මේ සම්බන්ධව කරුණු දැක්වුවා.

එහිදී අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නිලධාරීන් මෙම ඇප ඉල්ලීමට විරෝධය පළකර තිබෙනවා.

කෙසේ වෙතත් මහෙස්ත්‍රාත්වරිය සඳහන් කළේ මෙම නඩුකරය ලබන 08වනදා කැඳවීමට නියමිතව තිබෙන බැවින් එදින මේ සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙසයි.