ශෂී වීරවංශට එරෙහි නඩුවේ සාක්ෂි විභාගය නොවැම්බර් 11 වැනිදා කැඳවීමට නියෝග

හිටපු අමාත්‍ය විමල් වීරවංශගේ බිරිඳ වන ශෂී වීරවංශට එරෙහි නඩුවේ සාක්ෂි විභාගය නොවැම්බර් 11 වැනිදා සිදු කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල නියෝග කර තිබෙනවා.

ව්‍යාජ උප්පැන්න සහතිකයක් ඉදිරිපත් කර, අවිධිමත් ලෙස රාජ්‍යතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීම සම්බන්ධයෙන් ඇයට චෝදනා එල්ල වී ඇති බවයි සඳහන් වෙන්නේ.

පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටින අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් විශේෂ පාර්ලිමේන්තු කමිටුවක සාක්ෂි විභාගයට පෙනී සිටින බැවින්, පැමිණිල්ල කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් පසුව නඩු විභාගය කල් තැබීමට අතිරේක මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.