ගෝලීය ආර්ථිකයට දැඩි බලපෑම් එල්ල කළ අමෙරිකාවේ ආනයනික තීරුබදු ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට පෙර විදෙස් රටවලට ලබා දුන් දින 90ක සහන කාලය කිසිදු අයුරකින් දීර්ඝ කිරීමේ අදහසක් නැති බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. පසුගිය අප්‍රේල් මාසයේ සිට ක්‍රියාත්මක වූ එම සහන කාලය මේ මස 9 වැනිදා අවසන් වන බවත්, තීරුබදු අවම කිරිම හෝ ඉවත් කිරිම සම්බන්ධව ධවල මන්දිරය සමඟ සාකච්ඡා කිරීමට විදෙස් රටවලට ලබාදුන් කාලය එදින නිමාවන බවත් ට්‍රම්ප් වැඩිදුරටත් ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි. තීරුබදු සහන කාලය අවසන් කිරීම ලිපි මඟින් විදෙස් රටවලට දැනුම් දෙන බව ද ජනාධිපතිවරයා සඳහන් කර ඇතැයි වාර්තා වේ.
සිය තීරුබදු ප්‍රතිපත්තිය ප්‍රකාශයට පත් කිරීම දින 90කට අත්හිටුවීමට ජනාධිපතිවරයා පියවර ගනු ලැබුවේ රටවල් 90ක් සමඟ වෙළෙඳ ගනුදෙනු යථා තත්ත්වයට පත් කරගැනීමට බව ද වාර්තා වේ. තීරුබදු ප්‍රතිපත්තිය රටවල් 200කට අදාළ වුවත් සියලු රටවල් සමඟ එම කාලය ඇතුළත සාකච්ඡා පැවැත්විය නොහැකි බව ද ට්‍රම්ප් සඳහන් කර ඇතැයි වාර්තා වේ. අමෙරිකාව සමඟ තීරුබදු සම්බන්ධව ගනුදෙනුවක් නොකරන්නේ නම් 9 වැනිදායින් පසු දඩ මුදලකට යටත් වීමට සිදුවන බවට ට්‍රම්ප් පරිපාලනය විදෙස් රටවලට දැනටමත් අනතුරු අඟවා ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.