රුපියල් කෝටි 02 ක් වටිනා විස්කි සහ දුම්වැටි තොගයක් සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට

විස්කි සහ දුම්වැටි තොගයක් නීති විරෝධී ලෙස මෙරටට රැගෙන විත්, ඒවා කටුනායක ගුවන් තොටුපොළ හරිත මාවත ඔස්සේ පිට කරගෙන යමින් සිටි ශ්‍රී ලාංකික ගුවන් මගීන් දෙදෙනෙකු ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අනුව ඔවුන් විසින් රැගෙන ආ ගමන් මලු 10 ක් තුළ විදේශීය නිෂ්පාදිත දුම්වැටි 116,200 ක් අඩංගු දුම්වැටි කාටූන් 581 ක් සහ ඩුබායි ගුවන් තොටුපොළ තීරුබදු රහිත සාප්පු සංකීර්ණයෙන් මිළදී ගත් විස්කි බෝතල් 117 ක්ද සඟවා තිබූ බවයි සඳහන් වෙන්නේ.

එම විස්කි සහ දුම්වැටි තොගයේ වටිනාකම රුපියල් කෝටි දෙකක් පමණ වන අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බව රේගුව සඳහන් කර සිටියා.