උසස් පෙළ ඉහළින් සමත් සිසුන්ට, පළමු උපාධිය විදෙස් සරසවියක හැදෑරීම සඳහා ශිෂ්‍යත්ව ලබාදීමට කැබිනට් අනුමැතිය

උසස් පෙළ විභාගය ඉහළින් සමත්වූ සිසුන් හට සිය ප්‍රථම උපාධිය ජාත්‍යන්තර ඉහළ ශ්‍රේණිගත කිරීමක් සහිත විදේශීය විශ්ව විද්‍යාලයක හැදෑරීම සඳහා අවශ්‍ය ශිෂ්‍යත්ව ලබාදීමේ වැඩසටහනට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

මෙම ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ අන්තර්ජාතික විශ්ව විද්‍යාල ශ්‍රේණිගත කිරීමේ දර්ශකයන් හි පළමු ස්ථාන 500 අතර පවතින, ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගැන්වීම් සිදුකෙරෙන විදේශීය විශ්ව විද්‍යාල වෙතින්, උපරිම වසර 04ක් සඳහා උපාධි පාඨමාලා සම්පුර්ණ කිරීමට ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමට යෝජිත බවයි සඳහන් වෙන්නේ.

එම වැඩසටහන මඟින් පස් අවුරුදු සැලැස්මක් යටතේ සිසුන් 200 ක් සඳහා ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමට සැලසුම් කර ඇති අතර, එහි ප්‍රථම අදියර යටතේ 2025 වසර සඳහා සිසුන් 20 – 50 අතර සංඛ්‍යාවක් තෝරා ගැනීමට අපේක්ෂිතයි‍.

2025 අයවැය යෝජනා මඟින් මේ සඳහා රුපියල් මිලියන 200ක ප්‍රතිපාදන වෙන්කර තිබෙන අතර, .අ.පො.ස. උසස් පෙළ විභාගයේ ප්‍රධාන විෂයය ධාරාවන් යටතේ ඉහළම z-score සහිත සිසුන්ට මේ සඳහා අයැදුම් කිරීමට අවස්ථාව ලබාදෙන බව සඳහන්.

එකී අයදුම්පත් අතරින් සුදුසු සිසුන් තෝරා ගැනීම විශ්ව විද්‍යාල මහාචාර්යවරුන්ගෙන් සහ ආචාර්යවරුන්ගෙන් සමන්විත ප්‍රවීණ සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයක් මඟින් සිදුකරනු ලබන බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

 news images