කොරියාවේ E-8 වීසා කාණ්ඩයේ රැකියා අවස්ථා ගැන දැනුම්දීමක්

දකුණු කොරියාවේ සෘතුමය රැකියා සඳහා යොමුකරන E-8 වීසා කාණ්ඩයේ රැකියා අවස්ථා සක්‍රීය කිරීමට පියවර ගනිමින් සිටින බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසනවා.

ඒ සඳහා වන යෝජනාව කැබිනට් අනුමැතියට යොමුකර ඇති බවත්, අනුමැතිය ලැබීමෙන් අනතුරුව දකුණු කොරියාව සමග අවබෝධතා ගිවිසුම් අත්සන් කිරීමට නියමිත බවත්, ඉන් අනතුරුව ශ්‍රමික පිරිස් රැකියා සඳහා යොමුකරන බවයි එම කාර්යාංශයේ සභාපති කෝසල වික්‍රමසිංහ සඳහන් කළේ.

දැනට දකුණු කොරියාවේ ප්‍රාන්ත 04ක් සමග අවබෝධතා ගිවිසුම් අත්සන් කිරීමට අවශ්‍ය කටයුතු යොදා ඇති බවද, ජුලි 10 වන දින අවසන් වන විට ඊට අත්සන් කිරීමට හැකිවනු ඇති බවට බලාපොරොත්තු වන බවද ඔහු සඳහන් කළා.

අදාළ බඳවා ගැනීම් සිදු කරන්නේ රජයෙන් පමණක් වන අතර, පෞද්ගලික අංශයට ඒ සඳහා බඳවා ගැනීමට අවසර හිමි නොවන බවයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.