පාස්කු දින ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය එල්ල කළ අපරාධකරුවන් විසින් එම ප්‍රහාරයට පෙර වව්නතිව් පොලිස් මුරපොළේ සේවයේ නිරත නිලධාරීන් දෙදෙනෙක් ඝාතනය කර ටී 56 ගිනි අවි දෙක පැහැර ගැනීම සම්බන්ධයෙන් වූ විමර්ශන කටයුතු නොමඟ යැවීම පිළිබඳව නැඟෙනහිර පළාතේ පොලිස් කොට්ඨාසයක බුද්ධි අංශයේ ප්‍රධානියෙක් ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශන ආරම්භ කර තිබේ.
එම කොට්ඨාස බුද්ධි අංශ ප්‍රධානියා ළඟදීම අත්අඩංගුවට පත්වනු ඇති බව පොලිස් තොරතුරු අනාවරණය කළේය.
පොලිස් නිලධාරීන් ඝාතනය කළ සැකකරුගේ යැයි ඇඟවෙන ආකාරයට හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයකුගේ නිවෙසේ තිබූ ජැකට්ටුවක් සොරාගෙන එය ඝාතනය සිදු වූ ස්ථානයට ආසන්නයේ වෙල් යායක බෝක්කුවක් යටට දමා ඇත්තේ මේ බුද්ධි ප්‍රධානියා බවට සැක කරන තොරතුරු විමර්ශනවලින් හෙළිවී ඇත.
මේ සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි සේවයේ පොලිස් කොස්තාපල්වරයෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් පසුගිය අප්‍රේල් මස 08 වැනිදා අත්අඩංගුවට ගත්තේය. ජැකට්ටුව බෝක්කුව යට ඇති බවට තොරතුර පොලීසියට දී ඇත්තේ ඔහුය. මේ බුද්ධි නිලධාරියාට එම තොරතුර ලද ආකාරය ගැන කළ දීර්ඝ විමර්ශනයකින් අනතුරුව නැඟෙනහිර පළාතේ කොට්ඨාස බුද්ධි අංශයක ප්‍රධානියෙක් ගැන තොරතුරු හෙළිවී තිබෙන බව සඳහන්ය.
වව්නතිව් හිදී පොලිස් නිලධාරීන් දෙදෙනා ඝාතනය කර ගිනි අවි පැහැරගැනීම සිදුවන්නේ 2018 නොවැම්බර් මස 29 වැනිදාය.
කොස්තාපල්වරුන් වන නිරෝෂන් ඉන්දික සහ දිනේෂ් අලගරත්නම් මෙසේ ඝාතනය වී තිබිණි.
මේ ඝාතනය සිදු කර තිබුණේ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය එල්ල කළ සහරාන්ගේ කණ්ඩායම විසිනි. මේ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබුවේ හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයෙක් වන අජන්තන් හෙවත් කදිරගාමර්තම්බි රාසකුමාරන් නමැත්තාය. ඒ 2018 දෙසැම්බර් මස 02 වැනිදා මඩකලපුවේදීය. අත්අඩංගුවට ගත් අජන්තන් මාස පහකට අධික කාලයක් ආරක්ෂක අංශ රඳවාගෙන විමර්ශන පවත්වනු ලැබීය.
අජන්තන් අත්අඩංගුවට ගැනීමට මුල්වන්නේ වව්නතිව්හී මුරපොළ ආසන්නයේ ඇති බෝක්කුවක් යට තිබී සොයා ගත් ජැකට්ටුව පොලිස් නිල සුනඛයන් විසින් කළ ඉවකිරීමක් මුල්කරගෙනය. ද්විත්ව ඝාතනයෙන් දින තුනකට පසු එම ජැකට්ටුව සොයාගෙන තිබිණි. එම බෝක්කුව අසල කුඹුරක් ද ඇත. කුඹුරේ වගා කටයුතු කරන ගොවියා පවසා ඇත්තේ තමා කුඹුරට යන්නේ එම බෝක්කුව අසලින් බැස බවත්, පෙර දිනයේදී මෙවැනි ජැකට්ටුවක් එහි නොතිබු බවත්ය. පෙර දින වර්ෂාව ඇද හැලී තිබුණත් ජැකට්ටුව අලුත් පෙනුමට තිබී ඇත. එම ජැකට්ටුව ගැන තොරතුරු දුන්නේ යැයි පැවසෙන්නේ රාජ්‍ය බුද්ධි සේවයේ නිලධාරියාය. පොලිස් සුනඛයා ගමන්කර ඇත්තේ අජන්තන් වව්නතිව් හී පදිංචිව සිටි නිවෙස වෙතය. ජැකට්ටුව තිබූ ස්ථානයේ සිට කිලෝ මීටර් හතරකට ආසන්න දුරකින් අජන්තන්ගේ නිවෙස ඇති බවත්, සුනඛයා එම දුර ඉවකරමින් ගිය බවත් කියැවිණි. එම ජැකට්ටුව අජන්තන්ගේ බව ඔහු ද පිළිගෙන තිබිණි.
මෙම ද්විත්ව ඝාතනයට අජන්තන් හෝ එල්.ටී.ටී.ඊ.යේ සම්බන්ධයක් නොවන බව අනාවරණය වන්නේ පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයත් සමඟිනි. ඒ සහරාන්ගේ රියැදුරා අත්අඩංගුවට ගැනීමත් සමඟ වව්නතිව් පොලිස් නිලධාරීන් දෙදෙනා ඝාතනය ඔවුන් විසින් සිදු කළ බව හෙළිකිරීමත් සමඟිනි.
මෙහි ප්‍රධාන සැකකරුවෙක් වන මොහොමඩ් මිල්ලාන් නමැති අය සෞදියේ ජෙඩාවලදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන එන ලදි. ප්‍රශ්න කිරීමේ දී හෙළි වූ තොරතුරු මත වනාතවිල්ලුව ලැක්ටෝස් වත්තේ වළදමා තිබී පොලිස් නිලධාරීන් ඝාතනය කර පැහැර ගත් ගිනි අවි ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් සොයාගෙන තිබිණි.
ගයාන් කුමාර වීරසිංහ