එක් එක් බල අධිකාරීන්ට අවශ්‍ය පරිදි කට­යුතු කළ යුගය අව­සන් කළා

මහ­ජන දේපළ සොර­ක­මට බය වෙනවා වගේම කවු­රුත් නීති­යට යටත් විය යුතුයි

පොදු ප්‍රවා­හ­නය ශක්ති­මත් කිරීම අද අනි­වාර්ය අංගයක් – ඇමැති බිමල් රත්නා­යක

කුඩා ආණ්ඩු­ව­ලට සහ එක් එක් බල­අ­ධි­කා­රීන්ට අවශ්‍ය පරිදි කට­යුතු කළ යුගය වත්මන් ආණ්ඩුව අව­සන් කර ඇති බව ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහතා ප්‍රකාශ කළේය.

මහ­ජන දේපළ සොර­ක­මට සමා­ජ­යක් ලෙස බිය විය යුතු බවත් සෑම දෙනාම නීති­යට යටත් විය යුතු බවත් හෙතෙම අව­ධා­ර­ණය කළේය.

ජනා­ධි­ප­ති­ව­රයා මේ බව පැව­සුවේ ‘Dream Destination’ දුම්රිය ස්ථාන 100ක් නවී­ක­ර­ණය කිරීමේ ව්‍යාපෘ­තියේ සමා­ර­ම්භක අව­ස්ථා­වට ඉකුත්දා (27) පස්ව­රුවේ ජනා­ධි­පති කාර්යා­ල­යේදී එක්වෙ­මිනි.

ප්‍රවා­හන, මහා­මාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමා­ත්‍යාං­ශය සහ ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩ­ස­ට­හන එක්ව පෞද්ග­ලික අංශයේ අනු­ග්‍ර­හ­යෙන් රාජ්‍ය – පෞද්ග­ලික හවු­ල්කා­රීත්ව (Public-Private Partnership) ව්‍යාපෘ­ති­යක් ලෙස දුම්රිය ස්ථාන 100ක් නවී­ක­ර­ණය කිරීමේ ව්‍යාපෘ­තිය ආරම්භ කරනු ලැබීය. විශේෂ අව­ශ්‍යතා සහිත ප්‍රජාව ද ඇතු­ළත්ව සියලු මගීන්ගේ ආර­ක්ෂාව හා සුව­ප­හ­සුව සල­සන පිරි­සුදු, සුන්දර දුම්රිය ස්ථාන පද්ධ­ති­යක් රටේ නිර්මා­ණය කිරීම මේ ව්‍යාපෘ­තියේ අර­මු­ණයි.

මාර්ග ආර­ක්ෂණ ක්‍රියා­කාරී සැලැස්ම (The Road Safety Action Plane 2025-2026) ප්‍රවා­හන, මහා­මාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා ඇමැති බිමල් රත්නා­යක මහතා විසින් ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහතා වෙත පිළි­ග­න්වන ලදි.

එහිදී ජනා­ධි­ප­ති­ව­රයා මෙසේ ද කීවේය.

පව­තින ක්‍රම­වේ­දය තුළම ප්‍රති­සං­ස්ක­රණ පම­ණක් සිදු කර­මින් ඉදි­රි­යට යනවා වෙනු­වට, රට නව තල­ය­කට ඔසවා තැබීම වත්මන් රජයේ අර­මු­ණයි.

පැවති දේශ­පා­ලන සංස්කෘ­තිය වෙනස් කර­මින්, වර්ත­මාන දේශ­පා­ලන අධි­කා­රිය ලෙස, ඒ සඳහා පිය­වර ගෙන තිබෙ­නවා. එය ස්ථාවර තත්ත්ව­යක් ලෙස වර්ධ­නය කළ යුතුයි. එසේම, මෙරට සියලු අංශ නව තල­ය­කට ඔසවා තැබී­මට එයා­කා­ර­යෙන්ම කට­යුතු කළ­යුතු වෙනවා.

දින­කට රිය අන­තු­රු­ව­ලින් අට දෙනකු පමණ මිය­යන බව සංඛ්‍යා ලේඛ­න­ව­ලින් තහ­වුරු වෙනවා. ඒ අනුව ශක්ති­මත් මාර්ග නීති පද්ධ­ති­යක අව­ශ්‍ය­තාව පැහැ­දිලි වෙනවා. මාර්ග තද­බ­දය වළක්වා ගැනී­මට, විෂ වායු විමෝ­ච­නය අවම කර ගනි­මින් පාරි­ස­රික හානිය අවම කර ගැනී­මට සහ වාහන ආන­ය­නය වෙනු­වෙන් රජය දරන අධික වැය බර අඩු කර ගැනීම සඳහා පොදු ප්‍රවා­හ­නය ශක්ති­මත් කළ යුතු වෙනවා. මෙරට පොදු ප්‍රවා­හන පද්ධ­තිය, දියුණු, පහ­සු­කම් සහිත සහ කාර්ය­ක්ෂම සේවා­වක් බවට පත්කි­රීමේ වැඩ­පි­ළි­වෙළ මේ වන­විට ආරම්භ කර තිබෙ­නවා. ඒ සඳහා රජ­යෙන් සිදු කරන ආයෝ­ජ­න­ව­ලට අම­ත­රව පෞද්ග­ලික අංශ­යට ද ආයෝ­ජන අවස්ථා විවර කර තිබෙ­නවා.

ලෝක­යට සාපේ­ක්ෂව වර්ත­මා­න­යට ගැළ­පෙන පරිදි මෙරට දුම්රිය ස්ථාන නව අන­න්‍ය­තා­ව­කින් සන්නා­ම­ගත කිරී­මට රජය සමඟ එක් වන ලෙස පෞද්ග­ලික අංශ­යට ආරා­ධනා කර­නවා.

මාර්ග තද­බ­දය නිසා පම­ණක් වාර්ෂි­කව දළ දේශීය නිෂ්පා­දි­ත­යට 2%-3% අතර ප්‍රමා­ණ­යක් අහිමි වන බව ප්‍රවා­හන, මහා­මාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා ඇමැති බිමල් රත්නා­යක මහතා පැව­සීය.

2012 වස­රෙන් පමණ පසු ජන­තාව විශාල වශ­යෙන් පොදු ප්‍රවා­හ­න­යෙන් ඉවත් වෙමින් සිටින අතර, ඒ අනුව අනා­ග­ත­යේදී පිට්ටනි තරම් පාර­වල් හැදු­වත් ප්‍රවා­හන ගැටලු සම්පූ­ර්ණ­යෙන්ම නොවි­ස­ඳෙන බැවින් ඒ වෙනු­වට පොදු ප්‍රවා­හ­නය ශක්ති­මත් කිරීම අද අනි­වාර්ය වී ඇති බවද පැව­සීය.

ඒ වෙනු­වෙන් ඉදි­රි­යේදී සිය අමා­ත්‍යාං­ශය කොට්ටාව සිට අවි­ස්සා­වේල්ල දක්වා ද්විත්ව මාර්ගය සහ අවි­ස්සා­වේල්ල සිට රත්න­පුර දක්වා නව දුම්රිය මාර්ග ඉදි­කි­රීම, භාණ්ඩ ප්‍රවා­හ­නය සඳහා දුම්රිය සේවා යොදා ගැනී­මට අදාළ පහ­සු­කම් සංව­ර්ධ­නය කිරීම, දුම්රිය මාර්ග අයි­තිය දුම්රිය දෙපා­ර්ත­මේ­න්තුව යටතේ තිබි­යදී සංචා­රක කර්මා­න්තය සඳහා දැනට අත­හැර ඇති නුව­ර­එ­ළිය-නානු­ඔය දුම්රිය මාර්ගය පෞද්ග­ලික අංශය හා ඒකා­බ­ද්ධව සංව­ර්ධ­නය කිරීම මෙන්ම ඉදිරි අය වැයෙන් නව දුම්රිය කිහි­ප­යක් ගෙන ඒමට යෝජනා කිරී­මට ද බලා­පො­රොත්තු වන බව ද ඒ මහතා පැව­සීය.

එම්.අයි.සී.ඩී ඇසෝ­සි­යේට්ස් සම නිර්මාතෘ සහ ප්‍රධාන වාස්තු විද්‍යාඥ මුරාඩ් ඉස්ම­යිල් මහතා විසින් මෙහිදී දුම්රිය ස්ථාන නවී­ක­ර­ණය කිරීමේ සැලැස්ම ඉදි­රි­පත් කරන ලදි. එසේම,ජාතික විද්වත් සංවි­ධා­නය (NIO) වෙනු­වෙන් වර­ලත් ඉංජි­නේරු එම්.එම්.එස් මොරේ­මඩ මහතා මර­දාන,මීරි­ගම හා මොර­ටුව දුම්රිය ස්ථාන­වල ක්‍රියා­ත්මක වූ නියමු ව්‍යාපෘ­ති­වල අත්දැ­කීම් පැහැ­දිලි කළ අතර, අවශ්‍ය අව­ස්ථා­ව­ලදී තාක්ෂ­ණික මාර්ගෝ­ප­දේ­ශන සැප­යීම සඳහා තම සංවි­ධා­නයේ සහාය ස්වේච්ඡා­වෙන් ලබා­දී­මට කට­යුතු කරන බව ද පැව­සීය.

මෙයට සම­ගා­මීව,අනා­ර­ක්ෂිත දුම්රිය හරස් මාර්ග 429ක් වැනි විශාල ප්‍රමා­ණ­යක් පව­තින බවත්, එයින් ප්‍රධාන වශ­යෙන් 134ක් පළමු වට­යේදී ආර­ක්ෂිත තත්ත්ව­යට ගෙන ඒම මඟින් අන­තුරු අඩු කර­ගත හැකි බවත් ශ්‍රී ලංකා දුම්රිය දෙපා­ර්ත­මේ­න්තුවේ ප්‍රධාන ඉංජි­නේරු (සංඥා හා විදුලි සංදේශ) වී.සී.ඊ ජය­සේ­කර මහතා පෙන්වා දුන්නේය.

‘Dream Destination’ වැඩ­ස­ට­හන පිළි­බ­ඳව රැස්ව සිටි පිරිස සමඟ අද­හස් හුව­මාරු කර ගැනීම ද මෙහිදී සිදු කෙරුණු අතර ඔවුන්ට මේ ව්‍යාපෘ­ති­යට සම්බන්ධ වීම සඳහා වන මාර්ග­ගත ක්‍රම­වේ­දය හඳුන්වා දීම ද සිදු විය.ජනා­ධි­පති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමා­නා­යක, ප්‍රවා­හන,මහා­මාර්ග,වරාය සහ සිවිල් ගුවන් සේවා අමා­ත්‍යාං­ශයේ ලේකම් ජ්‍යෙෂ්ඨ මහා­චාර්ය කපිල සී.කේ.පෙරේරා, මෘදු­කාංග ඉංජි­නේරු සුමුදු රත්නා­යක මහ­ත්ව­රුන් සහ පෞද්ග­ලික අංශයේ ප්‍රකට සමා­ගම් හා ආය­තන රැසක ප්‍රධා­නීහු මේ අව­ස්ථා­වට සහ­භාගි වූහ