අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂවරයා ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා පත්කිරීමට වැඩබලන පොලිස්පතිවරයා කළ ඉල්ලීමට ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය ලැබී තිබේ. මධ්‍යම බුද්ධි විමර්ශන කාර්යාංශයේ අධ්යක්ෂ ලෙස මෙතෙක් සේවය කළ ශානි අබේසේකර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ලෙස පත්කිරීමට මුල්වී ඇත්තේ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය ඇතුළු සුවිශේෂි සහ සංවේදී විමර්ශන රැසක් වේගවත් කිරීම සඳහා බව පොලිස් අභ්‍යන්තර තොරතුරු අනාවරණය කළේය.
ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසය වෙනස් කරමින් පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ලෙස පත්කරනු ලැබූ පළමු කාන්තා නිලධාරිනිය වන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඉමේෂා මුතුමාල මහත්මිය ඒ අනුව පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයේ අධ්යක්ෂ ධූරයට ස්ථානමාරු කෙරෙනු ඇතැයි පොලිස් තොරතුරු සඳහන් කළේය.
ඇයව මෙසේ ස්ථාන මාරුකර ඇත්තේ සේවා අවශ්‍යතා මත මිස අදක්ෂතාවක් මත නොවන බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියකු පැවැසීය.
ශානි අබේසේකර මහතා 2017 වසරේ සිට 2019 වසර දක්වා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ලෙස සේවයේ නිරතව විය. ඊට පෙර ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්යක්ෂ ලෙස මෙන්ම ස්ථානාධිපති ලෙසද සේවයේ නිරතව සිට ඇත. රටේ ආන්දෝලනාත්මක සහ සංවේදී විමර්ශන රැසක් විසඳා නමක් දිනා සිටින නිලධාරියෙක් වන ශානි අබේසේකර මහතා 2019 වසරේ ආණ්ඩු පෙරලියත් සමඟ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉවත් කර ගාල්ල නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ පුද්ගලික සහකාර ලෙස ස්ථාන මාරුකරනු ලැබීය. අනතුරුව රන්ජන් රාමනායක මහතාගේ හඬ පට සිදුවීම මුල්කරගෙන වැඩ තහනමට ලක්වන ඔහුව පසුව අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කරනු ලබන්නේ කොළඹ අපරාධ කොට්ඨාසය විසින් සිදුකළ යම් විමර්ශනයටකට අනුවය. ආන්දෝලනයට තුඩුදුන් එම අත්අඩංගුවට ගැනීමෙන් පසු ජීවිත තර්ජනයන්ටද ලක්ව සිටි ශානි අබේසේකර මහතා වයස අවුරුදු 60න් පොලිස් සේවයෙන් මේ කාලය තුළ විශාම ගත්තේය. වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් අනතුරුව ශානි අබේසේකර මහතා කොන්ත්‍රාත් පදනම මත නැවත පොලිස් සේවයට එක්කර ගැනීමට අවශ්‍ය පියවර ගනු ලබන්නේ ඔහුගේ සේවය පොලිස් දෙපාර්තමේන්තුවට අවශ්‍ය වූ පසුබිම මතය. ඒ අනුව 2024 වසරේ ඔක්තෝබර් මාසයේදී ඔහුව පත්කරනු ලබන්නේ අපරාධ බුද්ධි විශ්ලේෂණ හා නිවාරණ කොට්ඨාසයේ අධ්යක්ෂ ලෙසය.
මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය නමින් සුවිශේෂි අපරාධ විමර්ශනය සඳහා අලුතින් ස්ථාපිත කළ විශේෂ පොලිස් ඒකකයේ අධ්යක්ෂ ලෙස මෙම වසරේ මුල පත්කරනු ලබන්නේද ශානි අබේසේකර මහතාවය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂධූරයට ඔහුට ස්ථාන මාරුවක් ලබාදෙන්නේ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ අධ්යක්ෂ ලෙස සේවයේ නිරතව සිටියදීය.
ගයාන් කුමාර වීරසිංහ