හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු පිරිසකට පවරා ඇති නඩුවක් දෙසැම්බර් 08 දක්වා කල් යයි

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු සැකකාරියන් 15 දෙනෙකුට පවරා ඇති නඩුවක් දෙසැම්බර් මස 08 වැනිදා යළි කැඳවන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (30) නියම කර තිබෙනවා.

2023 වසරේ කොළඹ නිදහස් චතුරස්‍රය අසල මංමාවත් අවහිර කරමින්, වීදි නාට්‍යයක් පැවැත්වීමට කටයුතු කිරීම තුළින් මහජන පීඩාවක් සිදු කිරීමට අදාළව, හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු සැකකරුවන්ට විරුද්ධව පොලිසිය විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබෙනවා.

මෙම නඩුව අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි හමුවේ කැඳවනු ලැබුණු අතර, මෙම සිද්ධියට අදාළ විමර්ශන අවසන් කර, එම වාර්තා නීතිපතිවරයා වෙත යොමු කර ඇති බව කුරුදුවත්ත පොලීසිය විසින් එහිදී අධිකරණයට දැනුම් දී ඇති බවයි සඳහන් වෙන්නේ.

ඒ අනුව, පැමිණිල්ල දෙසැම්බර් 08 වැනිදා යළි කැඳවීමට මහේස්ත්‍රාත්වරිය නියම කළ අතර, එදින නීතිපති උපදෙස් සම්බන්ධයෙන් අධිකරණයට දැනුම් දෙන ලෙසට පොලීසියට දැනුම්  දී තිබෙනවා.