මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂකවරු වන අර්ජුන් ඇලෝසියස්ට සහ ඇන්තනී රන්දෙව් ජිනේන්ද්‍රට එරෙහිව නඩු පැවරේ

රජයට අයවිය යුතු වැට් බදු ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් දේශීය ආදායම් පනත යටතේ මැන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂකවරුන් වන අර්ජුන් ඇලෝසියස් සහ ඇන්තනි රන්දෙව් ජිනේන්ද්‍ර ජෝන් යන අයට එරෙහිව නඩු ගොනු කර තිබෙනවා.

ඒ අනුව, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනි පතිරාජ හමුවේ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේදී  එම නඩුව ගොනු කර තිබෙන බවයි සඳහන් වන්නේ.

2019 සහ 2020 වර්ෂ වලට අදාළව රුපියල් කෝටි 103කට අධික (1,035,473,988) ක වැට් බදු මුදලක් ගෙවීම වග උත්තරකරුවන් විසින් පැහැර තිබෙන බව දේශීය ආදායම් කොමසාරිස් ජෙනරාල්වරයා වෙනුවෙන් පෙනී සිටි නීතීඥ දිනේෂ් පෙරේරා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කළා.

වග උත්තරකරුවන්ට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි නිකුත් කරන ලෙස ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටි අතර, එම ඉල්ලීම සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාත්වරිය වග උත්තරකරුවන්ට ලබන ඔක්තෝබර් 13 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි නිකුත් කරන ලෙස නියෝග කළා.

වැට් බදු ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් අර්ජුන් ඇල්සියස් ඇතුළු වග උත්තරකරුවන් දෙදෙනාට එරෙහිව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පැවරූ නඩුවකට වරදකරුවන් කෙරුණු අදාල වගඋත්තරකරුවන් දෙදෙනාට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් මීට පෙරද මාස හය බැගින්වූ සිර දඬුවම් නියම කර තිබුණා.