ලුණුවලට පාලන මිලක් පනවා නෑ – පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය

ලුණු සඳහා උපරිම සිල්ලර මිලක් තීරණය කර නොමැති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා. 

ඒ අනූව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සහ ලුණු නිෂ්පාදකයන්ගේ සංගමය අතර සාකච්ඡාවකින් පසුව ලුණු සඳහා උපරිම සිල්ලර මිලක් තීරණය කර ඇති බවට වන මාධ්‍ය වාර්තා ප්‍රතික්ෂේප කරන බවයි පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය පවසන්නේ. 

එමෙන්ම එවැනි සාකච්ඡාවක් පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය සහ ලුණු නිෂ්පාදකයන්ගේ සංගමය අතර පවත්වා නැති බවද එම අධිකාරිය පෙන්වා දෙනවා. 

උපරිම සිල්ලර මිලක් පැනවීමේදී අදහස් ලබාගැනීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියෙන් ස්වාධීනව ක්‍රියාත්මක වන පාරිභෝගික කටයුතු පිළිබඳ සභාව විසින් ලුණු නිෂ්පාදකයන්ගේ සංගමය සමග සාකච්ඡා කර තිබෙනවා. 

එම සාකච්ඡාවේදී මතු වූ කරුණු සැලකිල්ලට ගෙන නියම කළයුතු උපරිම සිල්ලර මිලක් පාරිභෝගික කටයුතු පිළිබඳ සභාව මගින් තීරණය කරනු ලැබුවහොත් පමණක් එම මිල ගණන් අධිකාරිය වෙත දැනුම් දීමටයි එකී සභාව කටයුතු කරන්නේ. 

ඒ අනුව අදාළ මිල ගණන් ගැසට්පත්‍රයක් මගින් ප්‍රකාශ කිරීමට අධිකාරිය කටයුතු කරනු ඇති. 

මේ අතර මාධ්‍ය වෙත ලුණු නිෂ්පාදකයන්ගේ සංගමය ඉදිරිපත්කර ඇති මිල ගණන් හා ඒ සඳහා පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය සමග එකඟ වූ බවට වන ප්‍රකාශය සාවද්‍ය බවයි එම අධිකාරිය පෙන්වා දෙන්නේ. 

එමෙන්ම, ආනයනකරුගේ හෝ දේශීය නිෂ්පාදකයාගේ තොරතුරු මෙන්ම උපරිම සිල්ලර මිලක් සඳහන් නොවන ලුණු අසුරන වෙළඳපොලට නිකුත් කිරීමට ආනයනකරුවන් සහ නිෂ්පාදකයන් කටයුතු කර ඇති බව පැවසෙනවා. 

එවැනි නිෂ්පාදන සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය නීතිමය පියවර ගන්නා බවත්, එම නිසා එවැනි නිෂ්පාදන මිලදීගැනීම හා අලෙවිකිරීම සිදු නොකරන ලෙසයි පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය පවසන්නේ. 

මේ අතර තමුන්ට භාණ්ඩ සැපයු ආනයනකරුගේ හෝ නිෂ්පාදකයාගේ නිවැරදි තොරතුරු සහ මිල ගණන් සහිත විධිමත් බිල්පතක් තමන් සතුව තබාගන්නා ලෙසද සියළුම ව්‍යාපාරිකයන් වෙත එම අධිකාරිය දැනුම් දෙනවා. 

එබැවින් එවැනි බිල්පතක් නොමැතිව භාණ්ඩ ළඟ තබා ගැනීමට එරෙහිව නීතිමය පියවර ගනු ලබන බවයි පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය පවසන්නේ.