නීති විරෝධීව මෙරටට ගෙන්වූ වාහන දෙකක් බණ්ඩාරගමදී පොලිස් භාරයට

නීති විරෝධීව මෙරට ගෙන්වූ බව කියන රුපියල් කෝටි 3කට අධික වටිනාකමකින් යුත් වාහන දෙකක් බණ්ඩාරගම ප්‍රදේශයේදී පොලිස් භාරයට ගෙන තිබෙනවා.

මෙම වාහන දෙක අතරට මොන්ටෙරෝ වර්ගයේ ජීප් රථයක් සහ කැරවන් වර්ගයේ වෑන් රථයක් අයත් බව පොලීසිය සඳහන් කළේ.

බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසයට බණ්ඩාරගම වීදාගම ප්‍රදේශයේ පුද්ගලයෙකුට අයත් සැකකටයුතු වෑන් රථයක් බණ්ඩාරගම ආදර්ශ පටුමග නිවසක සඟවා තිබෙන බවට ලද තොරතුරක් මත අදාළ වැන් රථය පොලිස් භාරයට ගෙන තිබෙනවා.

එම වෑන් රථයේ සවිකර ඇති ලියාපදිංචි අංකයම හොරණ මිල්ලනිය ප්‍රදේශයේ තවත් වාහනයක් ඇති බවට ලද තොරතුරු ලැබී ඇති බවත්  එය නිත්‍ය ලෙස ලියාපදිංචි කර ආරක්ෂක අංශයක සේවය කරන පුද්ගලයෙක් පරිහරණය කරන වාහනයක් බවට සිදුකළ මූලික විමර්ශනවලදී මේ වන විට අනාවරණය වී ඇති අතර පොලිස් භාරයට ගත් ජීප් රථයේ ඇති ලියාපදිංචි අංකය මෝටර් රථ දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියේ දත්ත වෙනස් කර ඇතුළත් කර සකස් කරන ලද්දක්  බවටද හඳුනගෙන ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.