තාක්ෂණික සේවාස්ථ පුහුණුලාභීන් 16 ක් ජපානයට

තාක්ෂණික සේවාස්ථ පුහුණුලාභීන් (TITP) ලෙස තවත් 16 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ඉදිරියේදී ජපානය බලා පිටත්ව යාමට නියමිතව තිබෙනවා.

එම පිරිසට සාත්තු සේවා පුහුණුලාභී තරුණියන් 04ක්, නිෂ්පාදන රැකියා සඳහා 04ක් හා ඉදිකිරීම් ක්ෂේත්‍රයේ පුහුණුලාභී තරුණයින් 08ක් අයත් වන බවයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළේ.

ජපානයේ පිහිටි IM ජපන් ආයතනය හා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය අතර ඇති කරගත් අවබෝධතා ගිවිසුමට අනුව, තාක්ෂණික සේවාස්ථ පුහුණුලාභීන් ලෙස මෙම පිරිස ජපානය වෙත යොමු කරන අතර, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් මේ වනවිට පුහුණුලාභීන් 589ක පිරිසක් ජපානයේ තාක්ෂණික සේවාස්ථ පුහුණුව සඳහා යොමුකර ඇති බවයි සඳහන් වෙන්නේ.

එසේම තවත් 100කට අධික පිරිසක් පෙර විගමණික පුහුණුව ලබමින් සිටින බවද එම කාර්යාංශය වැඩිදුරටත් සඳහන් කළා.