රුහුණු මහා කතරගම දේවාලයේ වාර්ෂික පෙරහැර මංගල්‍යය අද සිට ‍ආරම්භ වෙයි

රුහුණු මහා කතරගම දේවාලයේ වාර්ෂික පෙරහැර මංගල්‍යය අද (26) සිට ලබන ජූලි 10 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව, එම පෙරහැර මංගල්‍යය පැවැත්වෙන කාලසීමාව තුළ බැතිමතුන්ගේ ආරක්ෂාව සහ රථවාහන පාලනය සඳහා පොලිස් නිලධාරීන් 1,050ක පිරිසක් යොදවා ඇති බව පොලීසිය පවසනවා.

මාතර හා හම්බන්තොට දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති නිශාන්ත ද සොයිසාගේ සෘජු අධීක්ෂණය යටතේ, සහකාර පොලිස් අධිකාරීවරුන් පස්දෙනෙකු හා පොලිස් ස්ථානාධිපතිවරුන් තිදෙනෙකු මේ සඳහා යොඳවා ඇති බවයි නිවේදනයක් නිකුත් කරමින් පොලීසිය සඳහන් කරන්නේ.

පානම පොලිස් වසමේ සිට යාල රක්ෂිතය හරහා පෙරහර මංගල්‍යයට පාද යාත්‍රාවෙන් පැමිණෙන බැතිමතුන්ගේ ආරක්ෂාව හා සුභසාධන කටයුතු සඳහා ත්‍රිවිධ හමුදා නිලධාරීන්ගේ සහාය ලබාගැනීමට ද කටයුතු කර තිබෙන බවයි වැඩිදුරටත් දැක්වෙන්නේ.