ශ්‍රී ලංකාවේ අපනයන ආදායම කැපී පෙනෙන ලෙස ඉහළට

2025 වසරේ මුල් මාස පහ තුළ ශ්‍රී ලංකාවේ අපනයන අංශය කැපී පෙනෙන සාධනීය මට්ටමක් සහ ස්ථාවර ප්‍රගතියක් පෙන්නුම් කර තිබේ.

මුළු අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 6,933.35 ක් ලෙසයි වාර්තා වේ. එය 2024 ට සාපේක්ෂව 7.14% ක වර්ධනයකි.

2025 මැයි මාසයේදී වෙළඳ භාණ්ඩ සහ සේවා යන අංශයන්හි මුළු අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 1,386.66 වූ අතර 2024 මැයි මාසයට සාපේක්ෂව 6.35% ක වාර්ෂික වර්ධනයක් නිරූපණය විය.

මෙකී වර්ධනය ශ්‍රී ලංකාවේ අපනයන අංශයේ සාධනිය මට්ටම සහ වෙළඳපල විවිධාංගීකරණය කිරීමටත්, තරඟකාරීත්වය වැඩිදියුණු කිරීමටත් ගත් උපායමාර්ගික උත්සාහයන්ගේ ධනාත්මක බලපෑම පිළිබිඹු කරයි.

2025 මැයි මාසයේදී පමණක්, වෙළඳ භාණ්ඩ අපනයනය වාර්ෂිකව 1.70% කින් වර්ධනය වී ඇමරිකානු ඩොලර් මිලියන 1,028.52 ක් දක්වා ළඟා වී ඇති බව සංඛ්‍යාලේඛණ තහවුරු කර තිබේ.

ශ්‍රී ලංකා රේගුවේ තාවකාලික දත්තවලට අනුව, එම සංඛ්‍යාවට මැණික් හා ස්වර්ණාභරණ සහ ඛනිජ තෙල් නිෂ්පාදන සඳහා වූ ඇස්තමේන්තුගත ආදායම ද ඇතුළත් වනවා.

2025 ජනවාරි සිට මැයි දක්වා කාලය තුළ වෙළඳ භාණ්ඩ අපනයනය ඇමරිකානු ඩොලර් මිලියන 5,344.23 ක් වූ අතර එය 2024 ට සාපේක්ෂව 5.46% ක වැඩිවීමක්.

සේවා අපනයනය සමස්ත අපනයන වර්ධනයේ ප්‍ර‍ධාන ශක්තියක් බවට පත් ව තිබෙන බවද තහවුරු වී තිබේ.

2025 මැයි මාසයේදී සේවා අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 358.14 ක් ලෙසයි දැක්වෙන අතර වසරේ මුල් මාස පහ තුළ සේවා අපනයන 13.20% කින් වර්ධනය වී තිබෙනවා. එහි වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 1,589.12 කි.

මෙම ප්‍ර‍වණතාවය ශ්‍රී ලංකාවේ දැනුම පදනම් කරගත් ආර්ථිකය වර්ධනය වීමේ වැදගත්කම පිළිබිඹු කරයි.

තවද, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ (ICT)/ව්‍යාපාර කළමනාකරණ (BPM), ඉදිකිරීම්, මූල්‍ය සේවා සහ ප්‍රවාහන හා සැපයුම් යන අංශයන්ගෙන් සමන්විත සේවා අපනයන අංශය, ශ්‍රී ලංකාවේ අපනයන ක්ෂ්‍රේත්‍ර‍ය විවිධාංගීකරණය කරමින් දිවයින පුරා ඉහළ වටිනාකමක් ඇති රැකියා අවස්ථා නිර්මාණය කිරීම අඛණ්ඩව සිදු කෙරෙමින් පවතී.