කෙහෙළිය ඇතුළු 12කට අධිචෝදනා ගොනු කෙරේ

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිදුවීම සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් 12 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා අද (26) කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ අධිචෝදනා ‍ගොනුකර තිබෙනවා.

ඒ අනුව කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ නඩුව අද (26) කැඳවූ අවස්ථාවේදී මෙලෙස අධිචෝදනා ගොනුකර ඇති බවයි සඳහන් වෙන්නේ.

අදාළ අධිචෝදනා පත්‍රය චෝදනා 13කින් සමන්විත වන අතර, හියුමන් හියුමන් ඉමියුනොග්ලොබින් සහ රිටොක්සිමැබ් නැමැති ඖෂධ නොවන වෙනත් ද්‍රව්‍ය කුප්පි 6,195ක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයට සපයා ශ්‍රී ලංකා ජනරජයේ මුදල් රුපියල් ලක්ෂ 1,444ක් වංක ලෙස ව්‍යපහරණය කිරීමට කුමන්ත්‍රණය කිරීම සහ එම මුදල් සාපරාධී සාවද්‍ය පරිහරණය සම්බන්ධයෙන් මෙලෙස අධිචෝදනා ගොනුකර තිබෙනවා.

මෙම නඩු විභාගය සඳහා සාක්ෂිකරුවන් 350කට ආසන්න සංඛ්‍යාවක් සහ නඩු භාණ්ඩ 300කට ආසන්න සංඛ්‍යාවක් ඉදිරිපත් කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.