හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික විදේශ සංචාර සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කර ඇතැයි කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඊයේ (24) දැනුම් දුන්නේය.
රාජ්‍ය මුදල් අයුතු අවභාවිතය සම්බන්ධයෙන් මේ විමර්ශන ආරම්භ කර ඇති බවත් ජනාධිපති ලේකම් කාර්යාලයට ලැබුණු පැමිණිල්ලක් අනුව විමර්ශන සිදු කළ බවත් කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙණෙවිය හමුවේ මේ බව දන්වා සිටියේය. ඊට අදාළ වැඩිදුර වාර්තාවක් ගොනු කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ බව අධිකරණයට දන්වා සිටියේය.
එම සිද්ධියට අදාළව සිදු කරන විමර්ශනයට අවශ්‍ය නියෝග අධිකරණයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉල්ලා සිටි අතර ඊට අවසර ලැබිණි. හිටපු ජනාධිපතිවරයාට එරෙහිව සිදු කරනු ලබන විමර්ශන ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ වගන්ති ප්‍රකාරව සහ පොදු දේපොළ පනත ප්‍රකාරව සිදු කරනු ලබන අතර ඊට අදාළව චෝදනා ගොනු කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියේය. හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ඔහුගේ ධුර කාලය තුළ පෞද්ගලික සංචාර සඳහා රුපියල් බිලියනයකට අධික මුදලක් වැය කර ඇතැයි පසුගියදා පාර්ලිමේන්තුවේ මහත් කතාබහකට ලක් විය.