ගැබ්බර කිරි ගවයන් 15,000ක් මිල දී ගැනීමට නෙදර්ලන්ත බැංකුවකින් ගත් ණය මුදලකින් අමෙරිකානු ඩොලර් මිලියන 11.7ක මුදලක් ඔස්ට්‍රේලියානු සමාගමකට අත්තිකාරමක් ලෙස 2018 වසරේදී ගෙවා ඇතත් මෙතෙක් එම කිරි ගවයන් මෙරටට ආනයනය කිරීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනයකට අදාළව එකල පශු සම්පත් හා ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරිය වන ජාතික පොලිස් කොමිෂන් සභාවේ මේ වන විට සාමාජිකාවක ලෙස කටයුතු කරනු ලබන රේණුකා ඒකනායක මහත්මියගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (24) සහ පෙරේදා (23) දිනවලදී දීර්ඝ ලෙස ප්‍රශ්න කර තිබේ.
මෙම කිරි ගවයන් ආනයනය කිරීමේ ව්‍යාපෘතිය සිදු කර ඇත්තේ එකල පැවති ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍යාංශය මඟින් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
කිරි ගවයන් 20,000ක් මෙරටට ආනයනය කර කිරි ගොවීන්ට බෙදා දීම සඳහා එකල කැබිනට් අනුමැතියක් ද ලැබී තිබී ඇත. ඒ සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 73.9ක විදේශ ණයක් ද ගෙන ඇති බව සඳහන්ය.
ඊට අනුව අවස්ථා දෙකකදී කිරි ගවයන් 3000ක් සහ 2000ක් මෙරටට ආනයනය කර ඇත. ඉතිරි කිරි ගවයන් 15,000 ගෙන්වීම සඳහා නෙදර්ලන්ත බැංකුවකින් ණය මුදල ගෙන ඔස්ට්‍රේලියානු සමාගමකට අත්තිකාරමක් ලෙස ගෙවා ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ඒ වන විට ආනයනය කර තිබුණු කිරි ගවයන් රැසක් ගොවිපොළවලදී විවිධ රෝගයන්ට ගොදුරු වීමෙන් මිය යෑමත් අපේක්ෂිත කිරි ප්‍රමාණය නොලැබීමත් සම්බන්ධයෙන් ගැටලු මතු වී තිබී ඇත. ඒ වන විට ආනයනය කර තිබුණු කිරි ගවයන් රුපියල් ලක්ෂ 4ත් – 5ත් අතර මිලකට කිරි ගොවීන්ට අලෙවි කර ඇති බව ද සඳහන්ය.
නෙදර්ලන්තයෙන් ගත් ණය මුදල අදාළ සමාගමට දුන්නද ඒ වෙනුවෙන් ලැබිය යුතුව තිබුණු කිරි ගවයන් 15,000න් කිසිදු කිරි ගවයකු මෙරටට ලැබී නැති බව ද විමර්ශනවලින් පෙනී ගොස් තිබේ. එහෙත් නෙදර්ලන්තයෙන් ගත් ණය මුදල මේ වන විට ගෙවා අවසන් කර ඇති බවත් ජනතාවගේ බදු මුදලින් එම ණය ගෙවා ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
මෙරටට ආනයනය කළ කිරි ගවයන් ද රෝගී සතුන් බවත් එම සතුන්ට වැලඳී තිබුණු රෝගය මෙරට ගවයන්ට වැලඳෙන රෝගයක් නොවන බවත් එකල අනාවරණය වී තිබී ඇත. ඒ අනුව සැක කරනු ලබන්නේ රෝගී කිරි ගවයන් මෙරටට ආනයනය කර ඇති බවය. ඒ සම්බන්ධයෙන් ද විමර්ශනයේදී අවධානය යොමුව ඇති බව සඳහන්ය. මෙම කිරි ගවයන් ආනයනය සම්බන්ධයෙන් අදාළ ඔස්ට්‍රේලියානු සමාගම හා ගිවිසුම්ගත වන්නේ 2014 වසරේදී එවකට පැවති ආර්ථික සංවර්ධන අමාත්‍යාංශ මඟිනි. ඒ සම්බන්ධයෙන් ජාතික සැලසුම් දෙපාර්තමේන්තුව හා විගණකාධිපතිවරයා දුන් නිර්දේශ කිසිවක් තැකීමකට ලක් නොකර කැබිනට් අනුමැතිය ද ඒ සඳහා එකල දී ඇති බව සඳහන්ය.
කිරි ගවයන් 5000ක් අවස්ථා දෙකකදී ගෙන්වා ඇත්තේ 2017 සහ 2018 වසරවලදීය.
මෙම කිරි ගව ව්‍යාපෘතිය බලාපොරොත්තු වූ ප්‍රතිඵල නොලැබූ ව්‍යාපෘතියක් බවත් එම ව්‍යාපෘතියේ ඇති ගැටලු ගැන එවකට විෂය භාර අමාත්‍යවරයාට දැනුම් දුන්න ද එම ව්‍යාපෘතිය කරගෙන යන ලෙස තමන්ට අමාත්‍යවරයා උපදෙස් දුන් බවත් රේණුකා ඒකනායක මහත්මිය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පවසා ඇති බව සඳහන්ය.