හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

– හරක් කටා මෙරටට ගෙන එන්න එපා කියලා හුඟක් බලපෑම් ආවා
– CIDයේ හිටිය හරක් කටා කුඩු ව්‍යාපාරය යහතින් කරගෙන ගියා
– ක්‍රිකට් බෝඩ් එකෙන් මට තනතුරක් දෙන්න කැමති වුණත් මම ඒක භාර ගත්තේ නැහැ
– මම අධිකරණය මඟහැර සැඟව සිටියේ නැහැ

යුක්තිය මෙහෙයුමට සමගාමී ලෙස හරක් කටා හෙවත් නඳුන් චින්තක සමඟ දුරකතන සම්බන්ධතා පැවැත්වූ 149 දෙනකු අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම සිදු කළ බවත්, ඒ අනුව එම දුරකතන ලැයිස්තුවේ සිටින පිරිස අත්අඩංගුවට ගන්නා ලෙස තමන් විසින් අදාළ බලධාරීන්ට පොලිස්පති කාර්යාලයේදී වාචිකව උපදෙස් දුන් බවත් වගඋත්තරකාර පොලිස්පති, දේශබන්දු තෙන්නකෝන් මහතා පෙරේදා (23) ප්‍රකාශ කළේය.

මෙහිදී දේශබන්දු තෙන්නකෝන් වැඩිදුරටත් මෙලෙස ද පැවැසීය.

“එම පිරිස් අත්අඩංගුවට ගැනීම කොළඹ අපරාධ කොට්ඨාසයට මා විසින් වාචිකව උපදෙස් දීමෙන් පසුව එම පිරිස් අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය පියවර ගනිමින් සිටියා. එම විමර්ශන කටයුතු කොළඹ අපරාධ කොට්ඨාසයට මා විසින් වාචිකව දුන්නා. එම මෙහෙයුම් වෙනුවෙන් පිටත්ව යන්නේ කවදාද? යන්නේ කවුරුන්ද? ආදිය මට වැදගත් වූයේ නෑ. මගේ ප්‍රධාන පරමාර්ථය වූයේ එම දුරකතන ලැයිස්තුවේ පිරිස් අත්අඩංගුවට ගැනීමයි.

එසේ වුවත් ඩබ්ලිව් 15 සිදුවීමෙන් පසුව ඇති වූ විවිධ තත්ත්වයන් සමඟ හරක් කටා සමඟ සම්බන්ධතා පැවැත්වූ පිරිස් අත්අඩංගුවට ගැනීම නතර වුණා. එම පිරිස් අත්අඩංගුවට නොගැනීම යනු සංවිධානාත්මක අපරාධකරුවන් ලැබූ ජයග්‍රහණයක්.”

කෙසේ වූවද මෙහිදී අදහස් දැක්වූ අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පිරීස් මහතා ප්‍රශ්න කළේ සිදුවිය යුත්තේ කවර පසුබිමක් යටතේ වුවද අපරාධකරුවන් මර්දනය කිරීම සිදු කිරීම බව නොවේද යන්නයි.

සංවිධානාත්මක අපරාධකරුවකු වන නඳුන් චින්තක හෙවත් හරක් කටා සම්බන්ධ පරීක්ෂණවලදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අපේක්ෂිත අරමුණු ඉටු නොවූ බවත්, ඇතැම් නිලධාරීන් හරක් කටාගේ අනුගාමිකයන් අත්අඩංගුවට නොගන්නා බවට අවබෝධ වූ නිසා එම පරීක්ෂණ කොළඹ අපරාධ කොට්ඨාසයට දුන් බවත් දේශබන්දු තෙන්නකෝන් මහතා පැවැසීය.

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සිදු කර ඇතැයි කියන විෂමාචාර සහ සිය ධුරයේ බලතල බරපතළ අන්දමින් අනිසි ලෙස යොදාගැනීම සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තා කිරීමට පත් කළ පරීක්ෂණ කමිටුව පෙරේදා (23) පෙරවරු 9.30ට පමණ රැස් වූ අතර, එහිදී සාක්ෂි දෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය. සාක්ෂි විමසීම රාත්‍රී 8.00 පමණ වනතුරු පැවැත්විණි.

වගඋත්තරකාර දේශබන්දු තෙන්නකෝන් මහතාගෙන් සාක්ෂි විමසීම ඒ මහතාගේ නීතිඥ සංජය වීරවික්‍රම මහතා විසින් ආරම්භ කළේය.

නීතිඥ සංජය වීරවික්‍රම මහතා

“ඔබ පොලිස්පතිවරයා ලෙස සිටි සමයේ ආරම්භ කළ යුක්තිය මෙහෙයුම කාගේ තීරණයක්ද?”

දේශබන්දු තෙන්නකෝන් මහතා

“ස්වාමීනි, එවකට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මට කැඳවීමක් කළා. ඒ අනුව මම එතුමා හමුවීමට ගියා. ඒ අවස්ථාවේදී එතුමා මගෙන් ඇහුවා, ඔබට පොලිස්පති ධුරය දුන්නොත් කටයුතු කරන්නේ කවර ආකාරයටද කියලා. මම එතුමාට මගේ අදහස කිව්වා. එම සාකච්ඡාවට එවකට මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් මහතාත් සහභාගි වී සිටියා.”

නීතිඥ සංජය වීරවික්‍රම මහතා,

“ඔබ 2023 නොවැම්බර් මස 30 වැනිදා පොලිස්පතිවරයා ලෙස පත් කිරීමෙන් පසුව නඳුන් චින්තක හෙවත් හරක් කටා සම්බන්ධයෙන් විමර්ශන සිදු කළාද?”

දේශබන්දු තෙන්නකෝන් මහතා,

“හරක් කටා කියන්නේ නම ගිය අපරාධකාරයෙක්. ඔහුගේ උපන් ගම වැලිගම ආශ්‍රිතවයි. මොහු ජෙට් යානා භාවිත කර රටින් රටට ගමන් කළ අපරාධකාරයෙක්. මොහු වටා විශාල ජාලයක් තිබෙනවා. අනුගාමිකයන් විශාල පිරිසක් යොදවා රට පුරා මත්ද්‍රව්‍ය ජාලය ඔහු විසින් මෙහෙයවනවා. හරක් කටා සොයා ගන්නේ මැඩගස්කරයේ සිට. ඔහු එරට සිට මෙරටට ගෙන ඒමට කටයුතු කිරීමේදී ගුවන් යානයෙන් පනින්න හදලා ගුවන් යානය ඉන්දියාවට ගොඩ බාන්නත් සිදු වුණා. ගුවන් යානයේ ඔහු කලබල කළා. අපි හරක් කටා අත්අඩංගුවට අරන් මෙරටට ගෙන ඒමේදී ඔහු මෙරටට ගේන්න එපා කියලා බලපෑම් විශාල ප්‍රමාණයක් ආවා. නමුත් අපි අපගේ උත්සාහය අත් හැරියේ නෑ. එලෙස ගෙනා හරක් කටා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳවුම් භාරයේ සිටියා. හරක් කටා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳවුම් භාරයේ සිටියත් ඔහුගේ මත්ද්‍රව්‍ය වෙළෙඳාම ඒ ආකාරයටම සිදු වුණා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තුළත් සැඟවුණු ආශීර්වාදයක් ලබමින් ඔහු කටයුතු කළා.”

නීතිඥ සංජය වීරවික්‍රම මහතා,

“හරක් කටා කොතරම් කාලයක් රැඳවුම් භාරයේ සිටියාද?”

දේශබන්දු තෙන්නකෝන් මහතා,

“වසර එක හමාරක් වැනි කාලයක්. එසේ වුණත් එම කාලයේම හරක් කටා සම්බන්ධයෙන් විමර්ශන කළා මිස ඔහුගේ ජාලය සම්බන්ධයෙන් විමර්ශන සිදු කළේ නෑ. එම ජාලය සම්බන්ධයෙන් ද විමර්ශන සිදු කර එය කඩා බිඳ දැමිය යුතු බව මගේ මතය වුණා. —හරක් කටා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළේ හිටියත් ඔහු බලන්න එන අය මාර්ගයෙන් සහ ජංගම දුරකතන ඔස්සේ ඔහුගේ කුඩු ව්‍යාපාරය යහතින් කරගෙන ගියා.”

නීතිඥ සංජය වීරවික්‍රම මහතා,

“ඔබ පොලිස්පති ධුරයට පත්වීමෙන් පසුව හරක් කටා සම්බන්ධයෙන් විමර්ශන සිදු කළාද?”

දේශබන්දු තෙන්නකෝන් මහතා,

“ඔව් ස්වාමීනි. හරක් කටා සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන විට ඔහුගේ ජංගම දුරකතන තුනක් සම්බන්ධයෙන් අවධානය යොමු කළා. එහිදී ඔහුගේ එම දුරකතන අංකවලට සම්බන්ධ වූ තවත් දුරකතන අංක විශාල ප්‍රමාණයක් සම්බන්ධයෙන් තොරතුරු සොයාගෙන තිබුණා. ඒ අනුව හරක් කටා සමඟ දුරකතන සම්බන්ධතා පැවැත්වූ දුරකතන අංක 149ක ලැයිස්තුවක් සොයා ගත්තා. එම දුරකතන ලැයිස්තුව මා අදාළ නිලධාරීන්ගෙන් ලබා ගත්තා. එම ලැයිස්තුව මට දුන්නේ ත්‍රස්ත විමර්ශන ඒකකයේ හිටපු අධ්‍යක්ෂ ප්‍රසන්න අල්විස් මහතා. මේ සම්බන්ධයෙන් මා ප්‍රධානීන් කිහිප දෙනකු සමඟ සාකච්ඡා කළා. එම සාකච්ඡාවට කොළඹ අපරාධ කොට්ඨාසයේ හිටපු වැඩ බලන අධ්‍යක්ෂ නෙවිල් සිල්වා මහතා සහ නිශාන්ත සොයිසා මහතා සහභාගි වුණා.”

හරක් කටා සම්බන්ධ විමර්ශන සිදු කළේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින්. නමුත් එතැන සිටියදී තමයි සී.අයි.ඩී. නිලධාරීන්ට රසකැවිලි දී එහි නිලධාරීන්ගේ සහාය ගනිමින් හරක් කටා පැන යෑමට උත්සාහ කළේ. ඒ නිසා තවදුරටත් මේ වගකීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැවරීමෙන් ප්‍රතිඵල නොලැබෙන නිසා දුරකතන ලැයිස්තුව පිළිබඳ වගකීම කොළඹ අපරාධ කොට්ඨාසයට පැවරීමට මා තීරණය කළා. මෙහිදී අපරාධ වාර්තා කොට්ඨාසයටත් උපදෙස් දුන්නා, අත්අඩංගුවට ගන්නා අයගේ සහ අපරාධ කරුවන්ගේ ඡායාරූප, ඇඟිලි සලකුණු ආදිය ලබාගන්නා ලෙස. අපරාධවලට සම්බන්ධ අයගේ ඩේටා බේස් එකක් හැදුවෙත් මේ ආකාරයටයි.”

සභාපති විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා,

“කොළඹ අපරාධ කොට්ඨාසයට අයත් බලප්‍රදේශය මොකක්ද?”

දේශබන්දු තෙන්නකෝන් මහතා,

“කොළඹ අපරාධ කොට්ඨාසය වැඩ කරන්නේ කොළඹ. නමුත් පොලිස්පතිවරයාගේ උපදෙස් මත පිට පළාත්වලට යෑමට ඒ අයට හැකියාව තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ නාකොටික් බියුරෝ ආදි වශයෙන් දිවයින පුරාම ආවරණය වන පරිදි මෙහෙයුම් කළ හැකි පිරිස් සිටිනවා.”

නීතිඥ සංජය වීරවික්‍රම මහතා,

“මේ නම් ලැයිස්තුව සම්බන්ධයෙන් කටයුතු කිරීමට කණ්ඩායමක් ගිය බව ඔබ දන්නවාද?”

දේශබන්දු තෙන්නකෝන් මහතා,

“29 වැනිදා කණ්ඩායමක් ගිය බවත්, ඒ අය 11 දෙනකු අත්අඩංගුවට ගෙන ඇති බවත් වාර්තා කළා.

මම කිව්වේ මේ වෙනුවෙන් කණ්ඩායම් යොදවන ලෙසයි. එහිදී දිනපතා කණ්ඩායම් යොදවා හෝ මේ පිරිස් අත්අඩංගුවට ගන්නා ලෙසයි මා වාචිකව උපදෙස් දුන්නේ. එහිදී යන්නේ කවුද? යන්නේ කොහොමද? ආදිය සම්බන්ධයෙන් නෙවෙයි වැදගත් වූයේ. මේ ලැයිස්තුවට සම්බන්ධ පිරිස් අත්අඩංගුවට ගැනීමයි. ඒ සම්බන්ධයෙන් අවශ්‍ය වාචික උපදෙස් ප්‍රධානියා ලෙස මා ලබා දුන්නා. ඒ අනුව කටයුතු කළ යුතුයි. ඒ අයට කටයුතු කිරීමට මගේ වාචික නියෝගය ප්‍රමාණවත්.

මේකේ දෙපැත්තක් තිබෙනවා. මේක දැනුම් දීලා ගියාම අපේක්ෂිත ප්‍රතිඵල අපේක්ෂා කරන්න පුළුවන්ද යන ගැටලුවත් එනවා. මොකද හරක් කටාගේ ජාලය වැඩි වශයෙන් ක්‍රියාත්මක වෙන්නේ වැලිගම, මිදිගම ආශ්‍රිතව. එම පොලීසියේ ඔහුගේ නෑදෑයන් පවා සිටිනවා. සුළු පිරිසක් මේ අපරාධකරුවන් සමඟ සම්බන්ධතා පවත්වනවා. සුළු පිරිසක් මේ අයගෙන් මුදල් ගෙන ජීවත් වෙනවා. අවස්ථාවක දැනුම්වත් කරන්න ගියාම අපේක්ෂිත අරමුණු මොනතරම් දුරට ඉටු කර ගන්න පුළුවන්ද යන ගැටලුවත් එනවා.”

නීතිඥ සංජය වීරවික්‍රම මහතා,

“29 වැනිදා වගේම 30 වැනිදාත් කණ්ඩායමක් ගොස් තිබෙනවා. 30 වැනිදා ගිය කණ්ඩායම සම්බන්ධයෙන් තමයි ප්‍රශ්නගත සිදුවීම සිදුව තිබෙන්නේ. W15 හෝටලයට අදාළ පිරිස ගියේ වාහනයකින්ද? ඒ නීත්‍යනුකූල ක්‍රියාවක් සඳහාද?”

දේශබන්දු තෙන්නකෝන් මහතා,

“වැලිගමට පයින් යන්න බෑනේ ස්වාමීනි. කොළඹ අපරාධ කොට්ඨාසයට වාහන අඩුකමක් තිබුණා. ඒ නිසා මෙහි කටයුතු වෙනුවෙන් සිවිල් වාහන කිහිපයක් දුන්නේ මා මැදිහත්වයි. හිටපු ජනාධිපතිවරයාට ලිඛිත ඉල්ලීමක් කරලයි වරායේ තිබූ වාහන කිහිපයක් මා දුන්නේ. මගේ අවසරය මත හරක් කටාගේ අනුගාමිකයන් අත්අඩංගුවට ගැනීමට තමයි එම පිරිස ගියේ.”

නීතිඥ සංජය වීරවික්‍රම මහතා,

“විවිධ විමර්ශනවලට යෑමේදී පොලිස් යන ලේබලය නොගැසූ වාහන භාවිත කරනවාද?”

දේශබන්දු තෙන්නකෝන් මහතා,

“ඔව්. පොලිස් නාමය යෙදූ වාහන දැක්කම ඇතැම් පිරිස් දුවනවා. වැටලීම්වලට එන බව අපරාධකාරයන් දැන ගන්නවා. උපක්‍රමික වශයෙන් විවිධ ක්‍රමවේද භාවිත කරන්න පුළුවන්. සී.සී.ඩී. නිලධාරීන් වුණත් සංවේදී සහ සියුම් විමර්ශනවලදී නිල ඇඳුම අදින්නේ නෑ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්, බුද්ධි අංශ නිලධාරීන් නිල ඇඳුම අඳින්නේ නෑ. එසේ වුණත් රාජකාරියට සිය හැඳුනුම්පත තිබිය යුතුයි. මොකද අවශ්‍ය වුණොත් අනන්‍යතාව තහවුරු කළ යුතුයි.”

සභාපති විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා,

“කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් නිල ඇඳුම අදින්නේ නැද්ද?”

දේශබන්දු තෙන්නකෝන් මහතා,

“සී.සී.ඩී. අය නිල ඇඳුම ඇදිය යුතුයි. නමුත් විමර්ශනවලට හානියක් නම් සිවිල් ඇදිය හැකියි. නමුත් නිල හැඳුනුම්පත තිබිය යුතුයි. විමර්ශනවලට යන එක් කෙනෙක් හරි නිල ඇඳුම් ඇදිය යුතුයි.”

සභාපති විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා,

“30 වැනිදා මේ වෙනුවෙන් කණ්ඩායමක් යන බව දැනගෙන සිටියාද?”

දේශබන්දු තෙන්නකෝන් මහතා,

“ස්වාමීනි. මම උපදෙස් දුන්නේ දිනපතා කණ්ඩායම් යොදවා අදාළ පිරිස් අත්අඩංගුවට ගන්නා ලෙසයි. එවිට 29 වැනිද ගියේ, 30 වැනිද යන්නේ ආදිය මට වැදගත් වුණේ නෑ. මට අවශ්‍ය වුණේ අදාළ පිරිස් අත්අඩංගුවට ගැනීමයි. 30 වැනිදා කණ්ඩායමේ නායකත්වය ඇන්ස්ලම් ද සිල්වා දරා තිබෙනවා. ඒ මනුස්සයා ලොකු කාලයක් පොලීසියේ වැඩ කර තිබෙනවා. ඒක ඇත්ත. නමුත් බයිපාස් රෝගියෙක්. නිතර ඒ වෙනුවෙන් රෝහල් ගියා. පාදවලත් ආබාධ තිබුණා. ඇන්ස්ලම් කියන්නේ කාර්යාලයේ වැඩ කළ හැකි කෙනෙක් කියලයි මා විශ්වාස කරන්නේ. ඒ වගේ කෙනෙක් මෙවැනි මෙහෙයුමකට ගිය බව මා දැන සිටියේ නෑ. මේ අය ගියේ මොන වාහනයේද? වාහනවලට අවසර අරන්ද? මේ කිසි දෙයක් මම දන්නේ නෑ. ඒ සියලු කටයුතු ඒ අය සහ ඒ අය අධීක්ෂණය කරන පිරිස් විසින් සිදු කළ යුතුයි.”

සභාපති විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා,

“ඔබ තවමත් සිතන්නේ සී.සී.ඩී. එකේ කණ්ඩායම ගියේ ඒ වෙනුවෙන් කියලද?”

දේශබන්දු තෙන්නකෝන් මහතා,

“එසේය ස්වාමීනි. වෙඩි තියපු හෝටලය ඉදිරිපිට තිබී SOCO නිලධාරීන් උණ්ඩ කොපු 21ක් හොයාගෙන තිබුණා. නමුත් සී.සී.ඩී. නිලධාරීන් පැවසුවේ ඔවුන් වෙඩි තිබ්බේ උණ්ඩ 9කින් විතරයි කියලා. පොලිස් ජංගම රථයේ නිලධාරීන් වෙඩි තියලා තිබ්බේ උණ්ඩ 6යි. එකතුව උණ්ඩ 15යි. දැන් සැකයක් එනවා තුන්වෙනි පාර්ශ්වයක් වෙඩි තිබ්බාද කියලා. මේ W15 හෝටලයේ සිදුවීමත් සමඟ හරක් කටා සමඟ සම්බන්ධතා පැවැත්වූ පිරිස් අත්අඩංගුවට ගැනීමේ කටයුතු නතර වුණා.”

නීතිඥ සංජය වීරවික්‍රම මහතා,

“W15 හෝටලයට වෙඩි තැබීමට ඔබට වුවමනාවක් තිබුණාද?”

දේශබන්දු තෙන්නකොන් මහතා,

“මම එම හෝටලයේ අයිතිකරු කවුද කියලාවත් දන්නේ නෑ. මට ඒ වගේ කිසිම අවශ්‍යතාවක් නෑ. පුළුවන් නම් ඒ හිමිකරු හොයාගෙන අහන්න මාත් එක්ක පුද්ගලික තරහක් තිබ්බාද කියලා. මේක මාව මේ තනතුරෙන් ඉවත් කරන්න දේශපාලනිකව කරපු දෙයක්. මාව දින 20ක් බන්ධනාගාරගත කරලා තිබ්බා. මම මෙට්ටයක්වත් ඉල්ලුවේ නෑ. මම මේ කමිටුව විශ්වාස කරනවා. මට සාධාරණයක් වේවි. මේක ඉතිහාස ගතවේවි.”

අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා,

“සී.සී.ඩී. නිලධාරීන් කවුරුත්ම එදා නිල ඇඳුමකින් ගියේ නැද්ද?”

දේශබන්දු තෙන්නකෝන් මහතා,

“මොකක් හරි උපක්‍රමයක් වශයෙන් ඔවුන් එහෙම ගියාද දන්නේ නෑ. ඒක ඔවුන්ගෙන්ම තමයි අහන්න ඕනේ. නමුත් මම නම් කිව්වේ නෑ ඔක්කොම සිවිල් යන්න කියලා.”

නීතිඥ සංජය වීරවික්‍රම මහතා,

“ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් මාසයකට රුපියල් එක් ලක්ෂ පනස් දහසක මුදලක් ගත්තා කියලා ඔබට චෝදනාවක් තියෙනවා.”

දේශබන්දු තෙන්නකොන් මහතා,

“මම ක්‍රිකට් බෝඩ් එකත් එක්ක සමීපව කටයුතු කළා. මැච්වලට ආරක්ෂාව දෙන්න මුල්වෙලා කටයුතු කළා. ඊට පස්සේ ක්‍රිකට් බෝඩ් එකෙන් මට ලිඛිතව දැනුම් දුන්නා, ඔවුන් විශේෂඥ ආරක්ෂක උපදේශක කියන තනතුර මට ප්‍රදානය කරන්න කැමතියි කියලා. ඒ සඳහා මට මතක විදියට මාසිකව රුපියල් දෙලක්ෂ පනස් දහසක් දෙන්න ඔවුන් යෝජනා කර තිබුණා. මම ඒ ගැන තව කෙනෙක් එක්ක සාකච්ඡා කළා. ඔහු මට කිව්වා, ඕක නම් ලෝක ලෙඩක් වෙයි ගන්න එපා කියලා. ඒ නිසා මම ලිඛිතව ක්‍රිකට් ආයතනයට දැනුම් දුන්නා, මම ඒ තනතුරු භාරගන්නේ නෑ, මට ජොබ් දෙකක් කරන්න බෑ කියලා.” යැයි ඔහු ඊට පිළිතුරු දුනි.

තමන් කිසිසේත් අධිකරණය මඟහැර හෝ සැඟවී නොසිටි බවත්, ගිරිඋල්ලේ පිහිටි සිය නිවෙසේ සිටි අතර, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අවශ්‍ය තැන්වල තමාව සෙවීම් සිදු කර නොමැති බවත් වගඋත්තරකාර පොලිස්පති, දේශබන්දු තෙන්නකෝන් මහතා මෙහිදී පවසා සිටියේය.

අධිකරණ ක්‍රියාමාර්ග සහ පරීක්ෂණ කමිටු පත් කිරීම දේශපාලන පළිගැනීමක් සිදු කිරීමේ අරමුණින් සිදු වන බවට තමාට අදහසක් තිබෙන බව ද දේශබන්දු තෙන්නකෝන් මහතා දිලීප පීරිස් මහතාගේ ප්‍රශ්න කිරීම හමුවේ පැවසීය. එමෙන්ම වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව මේ සම්බන්ධයෙන් ලැබුණේ යැයි කියන නිර්නාමික ලිපියක් පදනම් කර ගනිමින් කටයුතු ආරම්භ කිරීමට තීරණය කර ඇත්තේ දේශපාලන අරමුණින් බව ද හෙතෙම පැවසීය.

මේ අතර, වැලිගම වෙඩි තැබීමේදී මියගිය පොලිස් නිලධාරියාට වන්දි දීමට ඔහු කළ වීර ක්‍රියාව කුමක්ද යන්න මෙහිදී අතිරේක සොලිස්ටර් ජනරාල් දිලීප පීරිස් මහතා විත්තිකාර දේශබන්දු තෙන්නකොන් මහතාගෙන් විමසීමක් කළේය.

ඊට පිළිතුරු ලබා දුන් දේශබන්දු තෙන්නකෝන් මහතා “වීර ක්‍රියාවක් කරන්න ඕනෙ නෑ, මෙයා රාජකාරියක් කරන්න ගියේ. උසස් නිලධාරීන් විශ්වාස කරලා තමයි ඔහු සත්භාවයෙන් වැඩ කළේ. ඒ නිසා ඔහුට ත්‍යාග මුදලක් ලබා දීමට කටයුතු කළා.” යනුවෙන් ප්‍රකාශ කළේය.

කොළඹ අපරාධ කොට්ඨාසයේ වැඩ බලන අධ්‍යක්ෂ නෙවිල් ද සිල්වා අපරාධය වූ ස්ථානයට ගියාද යන්න මෙහිදී දිලීප පීරිස් මහතා ප්‍රශ්න කළ අතර, එහිදී පිළිතුරු ලබා දුන් පොලිස්පතිවරයා සඳහන් කළේ අපරාධය වූ ස්ථානයට නොගිය බවත්, එම ස්ථානයට ගියේ නම් ගැටලු ඇතිවිය හැකි බව සිතා අපරාධ ස්ථානයට නොගොස් වැලිගම පොලිස් ස්ථානයට ගිය බවත්ය. යම් හෙයකින් මේ විමර්ශන සිදු කළ පාර්ශ්වවලින් ඉවත් කර වෙනත් කණ්ඩායම් වෙත තමන් විසින් ලබා දුන්නේ නම් තත්ත්වය මීට වඩා දරුණු වන බව ද දේශබන්දු තෙන්නකෝන් මහතා සඳහන් කළේය.

අදාළ සිදුවීමෙන් පසු එවකට මහජන ආරක්ෂක ඇමැතිවරයා සමඟ මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වූයේද යන්න දිලීප පීරිස් මහතා විමසා සිටි අතර, ඊට පිළිතුරු ලබා දෙමින් “මාධ්‍ය සාකච්ඡාවක් තිබ්බා, නමුත් W15 හෝටලය ගැන කියන්න නෙවෙයි මාධ්‍ය සාකච්ඡාව තිබ්බේ” යනුවෙන් තෙන්නකෝන් මහතා ප්‍රකාශ කළේය.

එම අවස්ථාවේදී W15 හෝටලය ගැන ප්‍රශ්නයක් ඉදිරිපත් වුණාද? යනුවෙන් කමිටු සභාපති ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා සාක්ෂිකරුගෙන් ප්‍රශ්න කර සිටියේය.

“ඔව් ස්වාමීනි, මාධ්‍යවේදියෙක් ප්‍රශ්නයක් ඇහුවා. අපි ඒකට පිළිතුරු ලබා දුන්නා.” යනුවෙන් ඊට පිළිතුරු ලබා දෙමින් දේශබන්දු තෙන්නකොන් මහතා පැවසීය.

මාතර මහේස්ත්‍රාත් අධිකරණයෙන් අත්අඩංගුවට ගැනීමට වරෙන්තුවක් නිකුත් කළ පසු සැඟව සිටියේද යන්න අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා මෙහිදී ප්‍රශ්න කර සිටියේය.

“ස්වාමීනි, මම හැංගිලා හිටියේ නෑ, මම මගේ ගිරිඋල්ල නිවෙසේ හිටියේ. මම ගෙදර සාමාන්‍යයෙන් ඉන්න විදිහට හිටියේ. මම නිදාගන්න කාමරයේමයි නිදා ගත්තේ. මම මගේ සාමාන්‍ය ජීවිතය ගත කළා.” යනුවෙන් දේශබන්දු තෙන්නකොන් මහතා පිළිතුරු ලබා දුන්නේය.

ගිරිඋල්ල නිවෙසේ වෙනත් කවුරුන් හෝ සිටියේද යන්න මෙහිදී කමිටු සභාපති ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා සාක්ෂිකරුගෙන් ප්‍රශ්න කර සිටියේය. තමාගේ මව ඇතැම් අවස්ථාවල එහි සිටින බවත්, ඇය සමහර අවස්ථාවල මගේ සහෝදරයන්ගේ ගෙවල්වල සිටින බවත් ඊට පිළිතුරු දෙමින් පොලිස්පතිවරයා පැවසීය.

අත්අඩංගුවට ගැනීමට මහේස්ත්‍රාත්වරයා නියෝගය නිකුත් කළ කාලයේ මේ නිවෙසේ කවුරුන්ද සිටියේ යන්න සභාපතිවරයා විමසීමක් කළ අතර, ඊට පිළිතුරු ලබා දෙමින් “මම තනියම හිටියේ” යනුවෙන් දේශබන්දු තෙන්නකොන් මහතා සඳහන් කළේය.

බල්බ දල්වන්නේ නැතිව ඉන්න එකද ඔබතුමා ගෙදර ඉන්න සාමාන්‍ය විදිහ? යනුවෙන් මෙහිදී දිලීප පීරිස් මහතා ප්‍රශ්න කළ අතර, එහිදී දේශබන්දු තෙන්නකෝන් මහතා “ස්වාමීනි, එම නිවෙසේ විදුලිය කපා තිබුණේ. ඒ නිසා ඉටිපන්දමක් ආධාරයෙන් දවස ගෙවා ගත්තා.” යනුවෙන් පිළිතුරු ලබා දුන්නේය.

හෝකන්දර නිවෙසේ සිය දරුවන් සහ බිරිය සමඟ රැඳී සිටීමට හැකියාව තිබෙන අතර, එලෙස නොසිට ගිරිඋල්ලට ගියේ ඇයිද යන්න පරීක්ෂණ කමිටුව ප්‍රශ්න කර සිටියේය.

නීතිඥවරුන්ගේ උපදෙස් මත සහ අධිකරණ කටයුතු නිසා එලෙස සිටීමට අවශ්‍ය බවට තීරණය කළ බවත්, අවශ්‍ය අවස්ථාවලදී කොළඹට පැමිණීමට කටයුතු කළ බවත් දේශබන්දු තෙන්නකෝන් මහතා ඊට පිළිතුරු දෙමින් පැවසීය.

“ඔබ අධිකරණය මඟ හැරලා සිටියේ නෑ කියන එකද ඔබේ ස්ථාවරය?” යනුවෙන් මෙහිදී දිලීප පීරිස් මහතා ප්‍රශ්න කර සිටි අතර, ඊට පිළිතුරු ලබා දෙමින් විත්තිකාර පොලිස්පතිවරයා “ඔව් ස්වාමීනි, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අවශ්‍ය තැන්වල නෙවෙයි මාව සෙව්වේ. කතරගම බස්නායක නිලමේවරයාගේ ගෙදරට ගිහිනුත් පරීක්ෂා කර තිබුණා. මම ඔහුව දන්නවා. ඒත් ඔහුගේ ගෙදර කොහේද තියෙන්නේ කියලාවත් මම දන්නේ නෑ. අදාළ තැන් නෙවෙයි මේ අය පරීක්ෂා කර තිබුණේ. ආරණ්‍ය සේනාසන විශාල ප්‍රමාණයක් පරීක්ෂා කර තිබුණා. මම එහේ ගිහින් ස්වාමීන් වහන්සේ නමක් වගේ ඉන්නවද ස්වාමීනි” යනුවෙන් පැවසීය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක බුද්ධික මනතුංග මහතා පොලිස්පතිවරයා සැඟව සිටින බවටත්, පොලිස්පතිවරයා සෙවීමට මහජන සහාය පතන බවටත් ප්‍රකාශ කළ බව දැනුම්වත් වූයේ නැද්ද යන්න දිලීප පීරිස් මහතා මෙහිදී ප්‍රශ්න කර සිටියේය.

තමා ඒ පිළිබඳව පසුව දැනුම්වත් වූ බවත්, යූටියුබ් හරහා එය දැනුම්වත් වූ බවත් විත්තිකාර පොලිස්පතිවරයා පැවසීය.

අද වන විට කමිටුවක් පත් කර එහි යෑමටත්, අධිකරණයට යෑමටත් සිදු වුණේ දේශපාලනික පළිගැනීමක් නිසා කියන එකද ඔබේ අදහස? යනුවෙන් මෙහිදී දිලීප පීරිස් මහතා ප්‍රශ්න කර සිටියේය.

“ඔව්. එහෙම අදහසක් තියෙනවා” යනුවෙන් දේශබන්දු තෙන්නකොන් මහතා පිළිතුරු දුන්නේය.