ඉරානයට අපනයනය කරන තේ කිලෝවක මිළ රුපියල් 30කින් පහළට

මෙම සතියට අදාළව පැවති කොළඹ තේ වෙන්දේසියේදී ඉරානයට අපනයනය කරන තේ කිලෝග්‍රෑමයක මිල රුපියල් 30 කින් පමණ පහළ ගොස් තිබෙනවා. 

මේ අතර, ඉරාන – ඊශ්‍රායලය යුද අර්බුදය තවදුරටත් පැවතියහොත්, මෙරට තේ අපනයන කටයුතුවලට බාධා එල්ල විය හැකි බවයි කොළඹ තේ වෙළදුන්ගේ සංගමය කියා සිටියේ. 

කෙසේ වෙතත්, එහි සභාපති සංජය හේරත් හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ, මේ දක්වා එම අපනයනවලට සැලකිය යුතු බලපෑමක් එල්ල වී නොමැති බවයි. 

මෙම කාල සීමාවේදී මෙරට තේ අපනයනය වැඩි වශයෙන් සිදු නොවන බවත්, ලබන මස අගභාගය වන විට තේ අපනයන වැඩි වශයෙන් සිදුවන නිසා එම කාලසීමාවේදී යුද ගැටුම් පැවතුනහොත් ඊට සැලකිය යුතු බලපෑමක් එල්ල විය හැකි බවද ඔහු සදහන් කළා. 

එසේ වුවද මේ දිනවල ඉරානයට තේ අපනයනය සිදු වන්නේ යම් අවධානමක් සහිතව බවයි කොළඹ තේ වෙළදුන්ගේ සංගමය පෙන්වා දෙන්නේ. 

ඉරානයට අමතරව ශ්‍රී ලංකාව විසින් රුසියාව, සෞදි අරාබිය, සිරියාව සහ තුර්කිය ඇතුළු රටවල් රැසකට වැඩි වශයෙන් තේ අපනයනය සිදු කෙරෙනවා. 

කෙසේ වෙතත්, ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ සභාපති ආර් කේ ඔබේසේකර හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ, තේ අපනයනය සදහා ඉරාන ඊශ්‍රායල යුද ගැටුම්වලින් මෙතෙක් බලපෑමක් සිදු වී නොමැති බවයි. 

මෙවන් පසුබිමක මැදපෙරදිග යුද උණුසුමක් පැවතියත් මේ වසර අවසන් වන තුරු ඉන්ධන ඇනවුම් කර ඇති බවත්, සංචිත ප්‍රමාණවත් පරිදි පවතින බවත් ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ සභාපති ජනක රාජකරුණා ප්‍රකාශ කළා. 

කොළඹ ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියේ, අනවශ්‍ය බියක් ඇතිකර නොගන්නා ලෙසයි. 

මේ අතර, ඉරාන ඊශ්‍රායල යුද තත්ත්වයේ දැනට පවතින යහපත් තත්ත්වය හමුවේ නවතා දැමුණු ජාත්‍යන්තර ගුවන් ගමන් අද සිට ආරම්භ කිරීමට ඊශ්‍රායලය සැරසෙන බව එරට ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර ප්‍රකාශ කළා.

 ඒ අනුව ඔහු කියා සිටියේ, ඊශ්‍රායලයට අයත් ගුවන් සමාගම් කිහිපයක් ටෙල්අවිව් ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ සිට සීමිත ජාත්‍යන්තර ගුවන් ගමන් ප්‍රමාණයක් දැනටමත් ආරම්භ කර ඇති බවයි. 

එමෙන්ම ඊයේ පස්වරුවේ ඊශ්‍රායලයෙන් පිටත්වූ ශ්‍රී ලාංකිකයින් තිදෙනෙක් ඊජිප්තුවේ කයිරෝ ගුවන් තොටුපොළ හරහා කොළඹට පැමිණි බව තානාපතිවරයා සදහන් කළා. 

බොහෝ මගීන් පිරිසක් එකවර ශ්‍රී ලංකාවට පැමිණීමට අපේක්ෂා කිරීම හේතුවෙන් ගුවන් ටිකට් පත් ලබා ගැනීමට තරමක තදබදයක් පැවතිය හැකි බවයි ඔහු කියා සිටින්නේ. 

මේ අතර, විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර නිවේදනය කළේ, ඉරානයේ සහ ඊශ්‍රායලයේ වර්තමාන තත්වය සම්බන්ධයෙන් නිරන්තරයෙන් අවධානය යොමු කරන බවයි. 

එසේම, ඊශ්‍රායලට විදේශ රැකියා සදහා යොමු කිරීම සම්බන්ධයෙන්, ලාංකික විදේශ ශ්‍රමිකයන්ගේ ආරක්ෂාව මත ඉදිරියේදී තීරණයක් ගනු ලබන බවද ඔහු සදහන් කළා. 

ඊශ්‍රායල ප්‍රහාර හමුවේ මෙතෙක් ඉරාන ජාතිකයන් 606 දෙනෙකු මියගොස් තවත් 5332 කට තුවාල සිදුව ඇති බව එරට සෞඛ්‍ය අමාත්‍ය මොහොමඞ් රූසා ප්‍රකාශ කළා. 

ඔහු කියා සිටියේ ගතවූ පැය 24 තුළ එල්ල කළ ප්‍රහාරවලින් 104 දෙනෙකු මියගොස් 1342 තුවාල ලබා ඇති බවයි. 

ඉරාන ප්‍රහාරවලින් ඊශ්‍රායල ජාතිකයින් 28 දෙනෙකු මියගොස් 3238 දෙනෙකුද තුවාල ලබා තිබෙනවා.