බලංගොඩ මහ නගර සභාව සහ තණමල්විල ප්‍රාදේශීය සභාවේ බලය ඊයේ (24) හිමිවීමත් සමඟ ජාතික ජන බලවේගය මේ වන විට පළාත් පාලන ආයතන 200ක බලය තහවුරු කර ගැනීමට සමත් වී තිබේ.
ජාතික ජන බලවේගය සෘජුව බලය හිමි කර ගත් ආයතන 151ත් කිසිදු දේශපාලන පක්ෂයකට බලය හිමි නොවූ ආයතනවලද බලය පිහිටවු ආයතන 49 ත් සමඟ බලය පිහිටවූ සමස්ත පළාත් පාලන ආයතන සංඛ්‍යාව 200ක් බවට පත්ව ඇත.
ඊයේ (24) සහ පෙරේදා (23) දිනවල පැවැති ඡන්ද විමසීම්වලදී ජාතික ජන බලවේගය ආයතන 8කත්, සමගි ජන බලවේගය ආයතන 6කත් ,ඉලංගෛයි තමිල් අරසු කච්චි පක්ෂය ආයතන 4 කත්, ශ්‍රී ලංකා මුස්ලම් ක්‍රොංගසය ආයතනය 1 කත් බලය හිමි කර ගැනීමට සමත්ව තිබිණි.
ඒ අනුව කිසිදු දේශපාලන පක්ෂයකට හෝ කණ්ඩායමකට බහුතර බලය හිමි නොවූ සභා 178 අතරින් සභා 49ක බලය ඊයේ (24) වන විට ජාතික ජන බලවේගය ලබාගෙන තිබිණි. ඔවුන්ට සෘජුව බලය හිමි වූ ආයතන 151 ද ඇතුළුව පළාත් පාලන ආයතන 200ක බලය මේ වන විට ජාතික ජන බලවේගය සතුයි.
සමගි ජන බලවේගය සමස්ත ආයතන 27කත්, පොදුජන පෙරමුණ, ලංකා කම්කරු ක්‍රොංගසය සහ මුස්ලිම් කොංග්‍රසය ආයතන 3 බැගිනුත්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එක් ආයතනයකුත් බැගින් මේ වන විට දිනා ගෙන තිබේ.
එමෙන්ම ස්වාධීන කණ්ඩායම් සහ සෙසු පක්ෂ කිහිපයක් පළාත් පාලන ආයතන 12ක බලය තහවුරු කර ගැනිමට සමත්ව තිබේ.
එක්සත් ජාතික පක්ෂය මෙවර පළාත් පාලන ආයතන කිසිවක් ජයග්‍රහණය කර ගෙන නැත.
මෙම ඇතැම් පළාත් පාලන ආයතනවල රහස් ඡන්ද විමසීම් පැවැති අතර ඇතැම් ආයතනවල විවෘත ඡන්ද විමසීම් පැවැත්විණි.
බස්නාහිර පළාත් සභා කොමසාරිස් සාරංගිකා කල්හාරි ජයසේකර මහත්මියගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරගම ප්‍රාදේශීය සභාව ඊයේ (24) පෙරවරුවේ රැස් වූ අතර, එහිදී උණුසුම්කාරී තත්ත්වයක් ඇති විය. සභාපතිවරයා තෝරා ගැනීම සම්බන්ධයෙන් විවෘත ඡන්දයක්ද රහස් ඡන්දයක්ද යන්න සම්බන්ධයෙන් මේ මත ගැටුම හට ගනු ලැබිණි.
එහිදී සභාව විනාඩි 10කට කල් තබා යළි රැස් වුවත් ඇති වු මත ගැටුම් හේතුවෙන් වුවත් දින නියමයක් නැතිව සභාව කල් තැබීමට සිදු විය.
බෙන්තර ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා තෝරා ගැනීමද ඊයේ (24) පැවැති අතර, එහිදී සමගි ජන බලවේගයට ජයග්‍රහණය හිමි විණි. කුච්චවේලී ප්‍රාදේශීය සභාවේ සභාපති ධුරය ලංකා මුස්ලිම් කොංග්‍රසයට හිමි විණි.