ස්ථාවර සහ ආයෝජක හිතකාමී ආර්ථික පරිසරයක් ඇති කිරීම තුළ පෙර වසරට සාපේක්ෂව විදේශ ඍජු ආයෝජන (FDI) රටට ගලා ඒමේ දැවැන්ත වර්ධනයක් අත්කර ගනිමින් මේ වසරේ ජූනි මාසය වන විට රුපියල් කෝටි 116,970ක (අමෙරිකානු ඩොලර් මිලියන 3,899) විදේශ ආයෝජන මෙරටට ලැබී තිබෙන බව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය (BOI) ප්‍රකාශ කරයි.
මෙරට ආයෝජන වෙත පහසුකම් සැලසීමට සාර්ව ආර්ථික ස්ථායීතාව සහ ස්ථාවර ප්‍රතිපත්ති රාමු ස්ථාපිත කිරීම සඳහා රජය දක්වන නොසැලෙන කැපවීම මත ජාත්‍යන්තර ආයෝජකයන්ගේ විශ්වාසය නැවත ස්ථාපනය වීම නව ආයෝජන යෝජනා ලැබීමට හේතු වී ඇති බව ආයෝජන මණ්ඩලය පෙන්වා දෙයි. 2025 ජූනි මාසය වන විට නව ව්‍යාපෘති යෝජනා 40ක් සහ දැනට පවතින ව්‍යාපාර පුළුල් කිරීමට යෝජනා 39ක් ඇතුළුව ආයෝජන යෝජනා 79ක් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට ලැබී ඇති බව ද, මේ ආයෝජනවල මුළු ඇස්තමේන්තුගත වටිනාකම අමෙරිකානු ඩොලර් මිලියන 4,669ක් බව ද පෙන්වා දෙයි.
එම ආයෝජන අතරින් අමෙරිකානු ඩොලර් මිලියන 3,899ක් විදේශ ආයෝජන ලෙස සඳහන් වේ. ඉතිරි අමෙරිකානු ඩොලර් මිලියන 770 දේශීය ආයෝජන බව ද, මෙය පසුගිය 2024 වසරේ එම කාලපරිච්ඡේදයේ ලැබුණු ආයෝජන යෝජනාවලට සාපේක්ෂව සියයට 18ක වැඩිවීමක් බව ද කියා සිටී.
මේ ආයෝජන යෝජනා පුළුල් පරාසයක විහිදෙන අංශවලින් සහ ලොව පුරා විවිධ රටවලින් ලැබුණු යෝජනායි. මේවා අපනයනය සඳහා වන ටයර් සහ ධාවන පථ, ඛනිජ සැකසුම් සහ ඇඟලුම් ආශ්‍රිත භාණ්ඩ ඇතුළු නිෂ්පාදන අංශයේ ව්‍යාපෘති සඳහා මෙන්ම බලශක්ති, සහාධිපත්‍යය මහල් නිවාස සහ මිශ්‍ර භාවිත සංවර්ධන ව්‍යාපෘති ඇතුළු දේපොළ වෙළෙඳාම් ව්‍යාපෘති, හෝටල් ව්‍යාපෘති, කිරි ගව පාලනය, මුහුදු පැළෑටි සහ භෝග වගාව ඇතුළු කෘෂිකාර්මික ආශ්‍රිත ව්‍යාපෘති සඳහා ද වන අංශවලින් සමන්විත වෙයි. මේවා කැනඩාව, චීනය, ඉන්දියාව, සිංගප්පූරුව, ස්විට්සර්ලන්තය, චෙක් ජනරජය, ඔස්ට්‍රේලියාව, සෞදි අරාබිය, නෙදර්ලන්තය, දකුණු කොරියාව සහ තවත් රටවල් කිහිපයකින් ලැබුණු යෝජනා බව ද ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය කියයි.
ආයෝජන මණ්ඩලයට ලැබෙන සියලුම ආයෝජන යෝජනා, පුළුල් ඇගයීම් ක්‍රියාවලියකට යටත් වන අතර, අදාළ රේඛීය ආයතනවලින් නිෂ්කාශනය ලැබීමෙන් පසු ආයෝජන අනුමැතිය ලබා දෙයි. ඒ අනුව 2025 ජනවාරි සිට ජූනි දක්වා කාලයේ ආයෝජන මණ්ඩලය විසින් අලුත් ව්‍යාපෘති 28ක් සහ පුළුල් කිරීමේ ව්‍යාපෘති 20කින් සමන්විත ව්‍යාපෘති 48ක් අනුමත කර ඇත. ඒවායේ සමස්ත ආයෝජන වටිනාකම අමෙරිකානු ඩොලර් මිලියන 499ක් වන අතර, මෙය පෙර වසරේ අනුරූප කාලපරිච්ඡේදයට සාපේක්ෂව සියයට 28ක වර්ධනයක් පෙන්නුම් කරයි. මේ අනුමත ආයෝජන වාණිජකරණයෙන් පසු රැකියා අවස්ථා 10,000ක් පමණ උත්පාදනය කිරීමට ද අපේක්ෂා කරයි.
ආයෝජන යෝජනා ලැබීමෙන් අනතුරුව ඒවා හරහා රටට ලැබුණු ඍජු විදේශ ආයෝජන (FDI) සහ දේශීය ආයෝජන අගයන් පිළිබඳ දත්ත රැස් කිරීම ද ආයෝජන මණ්ඩලය විසින් සිදු කරයි.
ඒ අනුව 2025 පළමු කාර්තුවේදී රටට ලබුණු ඍජු විදේශ ආයෝජන ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 203ක් වූ අතර, එය 2024 පළමු කාර්තුවේ දී වාර්තා වූ අමෙරිකානු ඩොලර් මිලියන 107ට සාපේක්ෂව සියයට 90ක සැලකිය යුතු වර්ධනයක් සනිටුහන් කර ඇත. මේ කාලසීමාවේ ගත් මුළු ඍජු විදේශ ආයෝජන ප්‍රමාණයෙන් සියයට 41ක් වරාය සංවර්ධන අංශයට ද, සියයට 34ක් නිෂ්පාදන අංශයට ද, සියයට 20ක් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය (ICT), කෘෂිකර්මය, දේපොළ සංවර්ධනය සහ විදුලි සංදේශ වැනි අංශවලට ද ලැබී ඇත.
ආයෝජකයන් තුළ විශ්වාසය නැවත ඇති කිරීමෙන් ශ්‍රී ලංකාව තුළ ආයෝජනය කිරීමට ආයෝජකයන්ගේ උනන්දුව සැලකිය යුතු ලෙස ඉහළ නැංවී ඇත. එය මේ වසරේ ආයෝජන මණ්ඩලය විසින් සත්කාරකත්වය සපයන ලද විදෙස් රටවලින් පැමිණි නියෝජිත කණ්ඩායම් සංඛ්‍යාවෙන් පිළිබිඹු වේ. විශේෂයෙන් පළමු මාස හයේ පමණක් ආයෝජන මණ්ඩලය විසින් ජපානය, ස්විට්සර්ලන්තය, එක්සත් රාජධානිය, ඉන්දියාව, චීනය, බංග්ලාදේශය, කොරියාව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, නෙදර්ලන්තය, බහරේනය, තායිලන්තය, පකිස්ථානය සහ වියට්නාමය ඇතුළු රටවල් ගණනාවක නියෝජිත පිරිසකට සත්කාරකත්වය සැපයූ අතර, මෑත කාලීනව ජර්මනියේ සිදු කරන ලද රාජ්‍ය තාන්ත්‍රික සංචාරය හරහා පැමිණි ආයෝජකයන් සමඟ ද සාකච්ඡා ආරම්භ කර ඇත.
මහින්ද අලුත්ගෙදර