නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බීඩි කොළ කිලෝග්‍රෑම් 1300කට අධික තොගයක් සහ බීඩි 29000කට අධික තොගයක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, මන්නාරම, නඩුකුඩා ප්‍රදේශය ආශ්‍රිතව 2025 ජුනි මස 22 වැනි දින සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බවට සැක කෙරෙණ බීඩි කොළ කිලෝ ග්‍රෑම් එක්දහස් තුන්සිය හැටපහක (1365) පමණ තොගයක් සහ බීඩි විසි නවදහස් එකසියයක (29100) පමණ තොගයක් ලඳු කැලෑවක් තුල සඟවා තිබියදී නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙ‍රිණි.

ඒ අනුව, 2025 ජුනි මස 22 වැනි දින උතුරු මැද නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා ගජබා ආයතනය මඟින් මන්නාරම නඩුකුඩා ප්‍රදේශයේ සිදුකල මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී, එම ප්‍රදේශයේ ලඳු කැලෑවක සඟවා තිබූ සැකකටයුතු උර 46ක් පරීක්‍ෂාවට ලක්කෙරිණි. එහිදී, එම උර තුල තිබී නීති විරෝධී ලෙස මෙරටට රැගෙනවිත් ජාවාරම් කරුවන් විසින් සඟවා තබන ලද බවට සැකකෙරෙන බීඩි කොළ කිලෝ ග්‍රෑම් 1365ක පමණ තොගයක් සහ බීඩි 29100ක පමණ තොගයක් මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරුණි.

තවද, නාවික හමුදා භාරයට ගත් බීඩි කොළ හා බීඩි තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා මන්නාරම සුරාබදු දෙපාර්තමේන්තු කාර්යාලය වෙත භාරදීමට කටයුතු කෙරිණි.