ඊශ්‍රායල – ඉරාන යුද ගැටුම : සටන් විරාම ගිවිසුමක් සඳහා එකඟ වූ බව ට්‍රම්ප් නිවේදනය කරයි

ඊශ්‍රායලය සහ ඉරානය අතර සටන් විරාම ගිවිසුමක් ඇති කිරීමට සූදානම් බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිවේදනය කර තිබෙනවා.

ඒ අනුව ඊශ්‍රායලය සහ ඉරානය සම්පූර්ණ සටන් විරාමයක් සඳහා එකඟවනු ඇති බවට තමන් බලාපොරොත්තු වන බවත් ඉදිරි පැය කිහිපය තුළ එය ආරම්භ වනු ඇති බවයි සිය සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් ඔහු සඳහන් කරන්නේ.

ඉරානය හෝ ඊශ්‍රායලය මෙතෙක් සටන් විරාම ගිවිසුමක් සම්බන්ධයෙන් නිල වශයෙන් ප්‍රකාශ කර නොමැති අතර ඉරාන මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ, ඉරානයට කිසිදු සටන් විරාම යෝජනාවක් ලැබී නොමැති බවයි.

මේ අතර ඉරානය සිය ප්‍රහාර නතර කළ යුතු බවට කොන්දේසියක් මත ඊශ්‍රායලය සටන් විරාමයට එකඟ වූ බව ධවල මන්දිර ප්‍රකාශකයෙක් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙන අතර අමෙරිකානු ජනාධිපතිවරයා සහ ඊශ්‍රායල අග්‍රමාත්‍ය අතර අදාළ සාකච්ඡා පවත්වා ඇති බවත් එම වාර්තා සඳහන් කරනවා.

කටාර් හි පිහිටි අමෙරිකානු කඳවුරක් ඉලක්ක කර ඉරානය විසින් ප්‍රහාරයක් දියත් කිරීමෙන් අනතුරුව අමෙරිකානු ජනාධිපතිවරයා සිය සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් සඳහන් කරන්නේ, ඉරානයේ න්‍යෂ්ටික පහසුකම් විනාශ කිරීමට ප්‍රතිචාර ලෙස අපේක්ෂා කළ ලෙසම දුර්වල ප්‍රහාරයක් එල්ල කළ බවත් එල්ල වූ මිසයිල 14 න් 13 ක් සම්පූර්ණයෙන්ම විනාශ කළ බවත් අනෙක් මිසයිලය ආරක්ෂිත ස්ථානයට පතිත වූ බවයි.

එසේම එම ප්‍රහාරයෙන් කිසිඳු අමෙරිකානුවෙකුට හානියක් සිදුව නොමැති බවත් ප්‍රහාරය සම්බන්ධයෙන් පෙර දැනුම්දීමක් නිකුත් කිරීම සම්බන්ධයෙන් ඉරානයට ස්තූතිවන්ත වන බවත් ඉරානයට දැන් කලාපයේ සාමය හා සමගිය කරා යා හැකි බවත් ඊශ්‍රායලයද එසේ කිරීමට උනන්දු කරන බවයි අමෙරිකානු ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ.