කොස්ගම, රබර් වත්තක කාන්තා ඝාතනයක්

කාන්තාවක් ගෙල කපා ඝාතනය කර තිබෙන බව කොස්ගම පොලිසිය පවසනවා. 

ඇයගේ සිරුර කොස්ගම පොලිසිය විසින් අද (23) පෙරවරුවේ සොයාගෙන තිබෙනවා. 

මෙම ඝාතනය කොස්ගම, ඉහළ කොස්ගම, පුස්සැල්ලෑව රබර් කර්මාන්තශාලාව අසල දී සිදුව තිබෙන බවයි පොලිසිය පැවසුවේ. 

ඝාතනයට ලක්ව ඇත්තේ 49 හැවිරිදි දෙදරු මවක් බවයි පැවසෙන්නේ. 

මරණකාරිය අවිස්සාවේල්ල, පුවක්පිටිය, උතුර නුගගහවත්ත ප්‍රදේශයේ පදිංචිකාරිණියක් බවට හඳුනාගෙන තිබෙනවා. 

මෙම කාන්තාව රබර් කිරි කැපීම රැකියාව ලෙස සිදු කර ඇති බවත් අද උදෑසන රැකියාවට යමින් සිටියදී කිසිවකු විසින් ඇයට තියුණු ආයුධ ප්‍රහාරයක් එල්ලකර ඇති බවයි පොලිසිය සැක කරන්නේ. 

ඝාතනය සම්බන්ධයෙන් කිසිවෙකු අත්අඩංගුවට ගෙන නොමැති බවයි කොස්ගම පොලිස් ස්ථානාධිපතිවරයා හිරු ප්‍රවෘත්ති වෙත කියා සිටියේ.

 කොස්ගම පොලිසිය වැඩිදුරටත් පරීක්ෂණ පවත්වනවා.