පෞද්ගලික අංශය සමඟ සහයෝගයෙන් යුතුව නවෝත්පාදනයන් සඳහා ක්‍රියාකාරීව සම්බන්ධ වෙමින්, නවෝත්පාදනයන් ප්‍රවර්ධනය කිරීමට සහ ප්‍රතිපත්තිමය දිශානතීන් සැකසීමට රජය කැපවී සිටින බව අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මෙණෙවිය ප්‍රකාශ කළාය.
‘ආර්ථික පරිවර්තනය සඳහා වූ නවෝත්පාදන’ යන මැයෙන් ආසියානු සංවර්ධන බැංකුව (ADB) මඟින් සංවිධානය කරන ලද Serendipity Knowledge වැඩසටහන ඊයේ (19) කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ පැවති අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වෙමින් අගමැතිනිය එසේ කීවාය.
ශ්‍රී ලංකාවේ ජාතික නවෝත්පාදනය ශක්තිමත් කිරීම සඳහා රජය සහ ජාත්‍යන්තර විශේෂඥයන් ඇතුළු අනෙකුත් පාර්ශ්වකරුවන් අතර දිගුකාලීන සම්බන්ධතාවක් ගොඩනඟා ගැනීම සම්බන්ධ ගැටලු පිළිබඳ දැනුම බෙදා ගැනීමේ අරමුණින් ආසියානු සංවර්ධන බැංකුව විසින් මෙම වැඩසටහන සංවිධානය කර තිබුණි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ආචාර්ය හරිනි අමරසූරිය මෙණෙවිය.
‘ආර්ථික අර්බුදයෙන් සහ මධ්‍යම ආදායම් උගුලෙන් මිදීම සඳහා නවෝත්පාදනයේ අවශ්‍යතාව අවධාරණය කළාය. පෞද්ගලික අංශය සමඟ සහයෝගයෙන් යුතුව නවෝත්පාදනයන් සඳහා ක්‍රියාකාරීව සම්බන්ධ වෙමින්, නවෝත්පාදනයන් ප්‍රවර්ධනය කිරීමට සහ ප්‍රතිපත්තිමය දිශානතීන් සැකසීමට රජය කැපවී සිටින බවත් ශ්‍රී ලංකාවේ නවෝත්පාදනයන් සඳහා ශක්තිමත් පදනමක් තිබුණ ද, සම්බන්ධීකරණයේ පවතින දුර්වලතා හේතුවෙන් ගෝලීය නවෝත්පාදන දර්ශකයේ (Global Innovation Index) රටවල් 113ක් අතරින් ශ්‍රී ලංකාව 89 වැනි ස්ථානයට පත්ව ඇති බවත් සඳහන් කළා ය.
දශක ගණනාවක් පුරා උසස් අධ්‍යාපන හා පර්යේෂණ සඳහා ප්‍රමාණවත් අවධානයක් යොමු වී නැති බවත්, පර්යේෂණ හා සංවර්ධන කටයුතු සඳහා දැනට වැය කරන මුදල දළ දේශීය නිෂ්පාදිතයෙන් (GDP) 0.1%ක් පමණක් වන බවත් සඳහන් කළා ය.
එම නිසා, ඉදිරි පර්යේෂණ හා සංවර්ධන කටයුතු සඳහා ප්‍රතිපාදන වැඩි කිරීමට මෙන්ම උසස් අධ්‍යාපනය සඳහා උපායමාර්ගිකව ආයෝජනය කිරීමට රජය කැපවී සිටින බව ද අග්‍රාමාත්‍යවරිය මෙහි දී වැඩිදුරටත් සඳහන් කළා ය.
මෙම අවස්ථාවට ආසියානු සංවර්ධන බැංකුවේ ශ්‍රී ලංකා නේවාසික අධ්යක්ෂ ආචාර්ය Takafumi Kadono, අග්‍රාමාත්‍ය ලේකම්, ප්‍රදීප් සපුතන්ත්‍රි, උසස් අධ්‍යාපන, අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කලුවැව, මුදල් අමාත්‍යංශයේ, පෞද්ගලික අංශයේ සහ ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල නියෝජනය කරමින් නිලධාරීන් සහ පීඨ සාමාජිකයෝ ඇතුළු විශාල පිරිසක් සහභාගි වී සිටියහ.