ඇප කොන්දේසි සපුරාගන්න බැරිවෙයි
බිරියට-දියණියට ලක්ෂ 300ක ගිණුම් 2ක්
ලක්ෂ 150ක ගිණුම් 3ක්
රුපියල් මිලියන 97.35ක් අයථා ලෙස උපයා ගැනීමක් සම්බන්ධයෙන් කළ විමර්ශනයකට අදාළව මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ චෝදනා යටතේ අත්අඩංගුවට ගන්නා ලද හිටපු ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ බිරිය කුසුම් ප්‍රියදර්ශනී ඈපා වීහේන සහ දියණිය වන චන්දුලා රමලී රඹුක්වැල්ල යන අය ඇප මත මුදාහරින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය ඊයේ (18) නියෝග කළ ද ඇප කොන්දේසි සපුරා ගැනීමට නොහැකි වීම හේතුවෙන් සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.
සිද්ධියට අදාළව එක් සැකකරුවකු විසින් වෙන් වෙන් වශයෙන් රුපියල් පනස්දහසක මුදල් ඇපයක් සහ රුපියල් මිලියන 5 බැගින් වූ ශරීර ඇප තුනක් මත මුදාහැරීමට ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය. මහේස්ත්‍රාත්වරිය ඔවුන්ගේ විදේශ ගමන් ද තහනම් කළාය.
සැකකරුවන්ගේ සැකකටයුතු ගනුදෙනු පිළිබඳ ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි අංශය අල්ලස් කොමිසමට කළ දැනුම් දීමක් අනුව මෙම විමර්ශන සිදු කළ බව ද නිලධාරීන් අධිකරණයට දන්වා සිටි අවස්ථාවේදී මෙලෙස නියෝග කෙරිණි.
අල්ලස් කොමිසම මඟින් ඊයේ අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා පස්වරු 3.30ට පමණ අධිකරණය හමුවට ඉදිරිපත් කළ අතර නඩුව මහේස්ත්‍රාත්වරියගේ නිලමැදිරිය තුළ කැඳවනු ලැබීය.
අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් පවසා සිටියේ,
“සැකකරුවන් තිදෙනා විසින් අයථා ලෙස රුපියල් මිලියන 97.35ක් උපයා ගැනීම සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ සිදු කළ විමර්ශනයකට අදාළව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ බවයි.
“ස්වාමීනි, දෙවැනි සැකකාරිය වන හිටපු අමාත්‍යවරයාගේ බිරිය සහ තුන් වැනි සැකකාරිය වන දියණියට අයත් රුපියල් ලක්ෂ 300 බැගින් වූ ස්ථාවර තැන්පතු ගිණුම් දෙකක් පිළිබඳව ද කරුණු අනාවරණය වී තිබෙනවා. එමෙන්ම මෙම සැකකරුවන්ට අයත් ජීවිත රක්ෂණ ඔප්පු සම්බන්ධයෙන් ද විමර්ශන සිදුකරන බව පැවසූ අල්ලස් කොමිසමේ නිලධාරීන් සැකකරුවන්ට අයත් රුපියල් ලක්ෂ 150 බැගින් වූ බැංකු ගිණුම් තුනක් වෙනත් පුද්ගලයන්ගේ නම්වලින් පවතින බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා” යනුවෙනි.
මෙම විමර්ශනවලට අදාළව හිටපු අමාත්‍යවරයාගේ දියණිය වන අමාලි රඹුක්වැල්ල නමැත්තියට අයත් සහාධිපත්‍ය දේපොළක් තහනමට ගෙන තිබෙන අතර දියණියගේ සැමියා වන පුරස්ති බණ්ඩාර නමැත්තාට අයත් මෝටර් රථයක් තහනමට ගෙන අල්ලස් කොමිසම භාරයේ රඳවාගෙන තිබෙන බවත් එම නිලධාරීහු කියා සිටියහ.
මෙම විමර්ශනයට අදාළව අනාවරණය කර ගත් චෝදනාවන් සම්බන්ධයෙන් විත්තිකරුවන්ට එරෙහිව කොළඹ මහාධිකරණයේ අධිචෝදනා ගොනු කර තිබෙන බවත් ඔවුහු සඳහන් කළහ.
ඊට අමතරව සැකකාර හිටපු අමාත්‍යවරයා විසින් නිල නිවාස හා වාහන පරිහරණය කිරීම සම්බන්ධයෙන් මෙන්ම ඔහුගේ සමයේ සිදුවූ ප්‍රමිතියෙන් තොර බෙහෙත් ආනයනය කිරීමේ සිද්ධීන් සම්බන්ධයෙන් ද අල්ලස් කොමිසම මඟින් විමර්ශන සිදු කරන බව ද අධිකරණයට දැන්වීය.
සිද්ධිය සම්බන්ධයේ වැඩිදුරටත් කරුණු දැක්වූ අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනීසිටි නිලධාරීන් සඳහන් කරනු ලැබුවේ,
“ස්වාමීනි, මෙම සිද්ධියට අදාළව සිදු කරන විමර්ශනවලදී සාක්ෂිකරුවන් සත්‍ය ප්‍රකාශ කිරීමට මැළිකමක් දක්වන බවත් ඔවුන් වෙත එල්ල වී තිබෙන බලපෑම හේතුවෙන් මෙවැනි තත්ත්වයක් උද්ගත වී ඇතැයි සඳහන් කර සිටි අල්ලස් කොමිසමේ නිලධාරීන් ඒ අනුව සැකකරුවන් ඇප මත මුදාහරිනු ලැබුවොත් විමර්ශන කටයුතුවලට බාධා සිදු විය හැකි බැවින් ඔවුන් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ඉල්ලා සිටිනවා” යනුවෙනි.
අල්ලස් කොමිසමේ ප්‍රකාශයට දැඩි විරෝධය පළ කළ සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ කාංචන රත්වත්ත මහතා මෙම විමර්ශනවලට අවශ්‍ය සියලු සහාය සැකකරුවන් විසින් අල්ලස් කොමිසමට දී තිබෙන බව පැවසුවේය.
සැකකරුවන් විසින් ඔවුන් ආදායම් උපයා ගත් ආකාරය ලේඛන සහිතව අල්ලස් කොමිසම හමුවේ පැහැදිලි කර තිබියදී ඔවුන්ව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ඉල්ලා සිටීම යුක්තිසහගත නොවන බව ද ඔහු කියා සිටියේය.
තම සේවාදායකයා නීති විරෝධී ලෙස මැණික් පතලක් පවත්වාගෙන ගිය බවට අල්ලස් කොමිසම මඟින් චෝදනා එල්ල කළත් එය නිසි පරිදි රජයට බදු ගෙවා පවත්වාගෙන ගිය බවත් එම පතලින් තම සේවාදායකයාට මැණික් හමුවූ බවත් නීතිඥවරයා පැවසුවේය.
එසේ හමුවූ මැණික් ජාතික ස්වර්ණාභරණ අධිකාරිය මඟින් සිදු කළ වෙන්දේසියකදී විකුණා රුපියල් මිලියන 610ක් සහ මිලියන 125ක් රජයට අය විය යුතු බදු ගෙවීමෙන් පසුව උපයා ගත් බවත් එම සියලු ආදායම් පිළිබඳ තොරතුරු අල්ලස් කොමිසමට පැහැදිලි කර තිබෙන බවත් කියා සිටියේය.
තම සේවාදායකයා මීට සති කිහිපයකට ඉහතදී මාසයක පමණ කාලයක් රක්ෂිත බන්ධනාගාරගතව සිටි අතර ඔහු යළි රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කරනු ලබන ඉල්ලීම පිළිගත නොහැකි බවත් නීතිඥවරයා චෝදනා කළේය.
තම සේවාදායකයා සාක්ෂිකරුවන්ට බලපෑම් සිදු කර ඇති බවට තහවුරු වන සාක්ෂි ඉදිරිපත් වී නොමැති බවත් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ ඔවුන්ට එරෙහිව කිසිදු සාක්ෂියක් ඉදිරිපත් වී නොමැති නිසා සැකකරුවන් සියලු දෙනා ඇප මත මුදාහරින ලෙසත් නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
ඉදිරිපත් වූ සියලු කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය අනතුරුව මෙම සැකකරුවන් ඇප මත මුදාහරීමට නියම කළාය.
නඩුව අගෝස්තු මස 27 යළි කැඳවීමට ද නියමිතයි.