කෙහෙළිය බිරිය දියණිය රිමාන්ඩ්

ඇප කොන්දේසි සපුරාගන්න බැරිවෙයි

බිරියට-දියණියට ලක්ෂ 300ක ගිණුම් 2ක්

ලක්ෂ 150ක ගිණුම් 3ක්

රුපි­යල් මිලි­යන 97.35ක් අයථා ලෙස උපයා ගැනී­මක් සම්බ­න්ධ­යෙන් කළ විම­ර්ශ­න­ය­කට අදා­ළව මුදල් විශු­ද්ධි­ක­ර­ණය වැළැ­ක්වීමේ චෝදනා යටතේ අත්අ­ඩං­ගු­වට ගන්නා ලද හිටපු ඇමැති කෙහෙ­ළිය රඹු­ක්වැල්ල, ඔහුගේ බිරිය කුසුම් ප්‍රිය­ද­ර්ශනී ඈපා වීහේන සහ දිය­ණිය වන චන්දුලා රමලී රඹු­ක්වැල්ල යන අය ඇප මත මුදා­හ­රින ලෙස කොළඹ ප්‍රධාන මහේ­ස්ත්‍රාත් තනූජා ලක්මාලි මහ­ත්මිය ඊයේ (18) නියෝග කළ ද ඇප කොන්දේසි සපුරා ගැනී­මට නොහැකි වීම හේතු­වෙන් සැක­ක­රු­වන් රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කෙරිණි.

සිද්ධි­යට අදා­ළව එක් සැක­ක­රු­වකු විසින් වෙන් වෙන් වශ­යෙන් රුපි­යල් පන­ස්ද­හ­සක මුදල් ඇප­යක් සහ රුපි­යල් මිලි­යන 5 බැගින් වූ ශරීර ඇප තුනක් මත මුදා­හැ­රී­මට ප්‍රධාන මහේ­ස්ත්‍රා­ත්ව­රිය නියෝග කළාය. මහේ­ස්ත්‍රා­ත්ව­රිය ඔවුන්ගේ විදේශ ගමන් ද තහ­නම් කළාය.

සැක­ක­රු­වන්ගේ සැක­ක­ට­යුතු ගනු­දෙනු පිළි­බඳ ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි අංශය අල්ලස් කොමි­ස­මට කළ දැනුම් දීමක් අනුව මෙම විම­ර්ශන සිදු කළ බව ද නිල­ධා­රීන් අධි­ක­ර­ණ­යට දන්වා සිටි අව­ස්ථා­වේදී මෙලෙස නියෝග කෙරිණි.

අල්ලස් කොමි­සම මඟින් ඊයේ අත්අ­ඩං­ගු­වට ගත් සැක­ක­රු­වන් තිදෙනා පස්වරු 3.30ට පමණ අධි­ක­ර­ණය හමු­වට ඉදි­රි­පත් කළ අතර නඩුව මහේ­ස්ත්‍රා­ත්ව­රි­යගේ නිල­මැ­දි­රිය තුළ කැඳ­වනු ලැබීය.

අල්ලස් කොමි­සමේ නිල­ධා­රීන් අධි­ක­ර­ණය හමුවේ කරුණු දක්ව­මින් පවසා සිටියේ,

“සැක­ක­රු­වන් තිදෙනා විසින් අයථා ලෙස රුපි­යල් මිලි­යන 97.35ක් උපයා ගැනීම සම්බ­න්ධ­යෙන් මුදල් විශු­ද්ධි­ක­ර­ණය වැළැ­ක්වීමේ පනත යටතේ සිදු කළ විම­ර්ශ­න­ය­කට අදා­ළව අත්අ­ඩං­ගු­වට ගෙන අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කළ බවයි.

“ස්වාමීනි, දෙවැනි සැක­කා­රිය වන හිටපු අමා­ත්‍ය­ව­ර­යාගේ බිරිය සහ තුන් වැනි සැක­කා­රිය වන දිය­ණි­යට අයත් රුපි­යල් ලක්ෂ 300 බැගින් වූ ස්ථාවර තැන්පතු ගිණුම් දෙකක් පිළි­බ­ඳව ද කරුණු අනා­ව­ර­ණය වී තිබෙ­නවා. එමෙන්ම මෙම සැක­ක­රු­වන්ට අයත් ජීවිත රක්ෂණ ඔප්පු සම්බ­න්ධ­යෙන් ද විම­ර්ශන සිදු­ක­රන බව පැවසූ අල්ලස් කොමි­සමේ නිල­ධා­රීන් සැක­ක­රු­වන්ට අයත් රුපි­යල් ලක්ෂ 150 බැගින් වූ බැංකු ගිණුම් තුනක් වෙනත් පුද්ග­ල­යන්ගේ නම්ව­ලින් පව­තින බවට තොර­තුරු අනා­ව­ර­ණය වී තිබෙ­නවා” යනු­වෙනි.

මෙම විම­ර්ශ­න­ව­ලට අදා­ළව හිටපු අමා­ත්‍ය­ව­ර­යාගේ දිය­ණිය වන අමාලි රඹු­ක්වැල්ල නමැ­ත්ති­යට අයත් සහා­ධි­පත්‍ය දේපො­ළක් තහ­න­මට ගෙන තිබෙන අතර දිය­ණි­යගේ සැමියා වන පුරස්ති බණ්ඩාර නමැ­ත්තාට අයත් මෝටර් රථ­යක් තහ­න­මට ගෙන අල්ලස් කොමි­සම භාරයේ රඳ­වා­ගෙන තිබෙන බවත් එම නිල­ධා­රීහු කියා සිටි­යහ.

මෙම විම­ර්ශ­න­යට අදා­ළව අනා­ව­ර­ණය කර ගත් චෝද­නා­වන් සම්බ­න්ධ­යෙන් විත්ති­ක­රු­වන්ට එරෙ­හිව කොළඹ මහා­ධි­ක­ර­ණයේ අධි­චෝ­දනා ගොනු කර තිබෙන බවත් ඔවුහු සඳ­හන් කළහ.

ඊට අම­ත­රව සැක­කාර හිටපු අමා­ත්‍ය­ව­රයා විසින් නිල නිවාස හා වාහන පරි­හ­ර­ණය කිරීම සම්බ­න්ධ­යෙන් මෙන්ම ඔහුගේ සමයේ සිදුවූ ප්‍රමි­ති­යෙන් තොර බෙහෙත් ආන­ය­නය කිරීමේ සිද්ධීන් සම්බ­න්ධ­යෙන් ද අල්ලස් කොමි­සම මඟින් විම­ර්ශන සිදු කරන බව ද අධි­ක­ර­ණ­යට දැන්වීය.

සිද්ධිය සම්බ­න්ධයේ වැඩි­දු­ර­ටත් කරුණු දැක්වූ අල්ලස් කොමි­සම වෙනු­වෙන් පෙනී­සිටි නිල­ධා­රීන් සඳ­හන් කරනු ලැබුවේ,

“ස්වාමීනි, මෙම සිද්ධි­යට අදා­ළව සිදු කරන විම­ර්ශ­න­ව­ලදී සාක්ෂි­ක­රු­වන් සත්‍ය ප්‍රකාශ කිරී­මට මැළි­ක­මක් දක්වන බවත් ඔවුන් වෙත එල්ල වී තිබෙන බල­පෑම හේතු­වෙන් මෙවැනි තත්ත්ව­යක් උද්ගත වී ඇතැයි සඳ­හන් කර සිටි අල්ලස් කොමි­සමේ නිල­ධා­රීන් ඒ අනුව සැක­ක­රු­වන් ඇප මත මුදා­හ­රිනු ලැබු­වොත් විම­ර්ශන කට­යු­තු­ව­ලට බාධා සිදු විය හැකි බැවින් ඔවුන් රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කරන ලෙස ඉල්ලා සිටි­නවා” යනු­වෙනි.

අල්ලස් කොමි­සමේ ප්‍රකා­ශ­යට දැඩි විරෝ­ධය පළ කළ සැක­ක­රු­වන් වෙනු­වෙන් පෙනී සිටි නීතිඥ කාංචන රත්වත්ත මහතා මෙම විම­ර්ශ­න­ව­ලට අවශ්‍ය සියලු සහාය සැක­ක­රු­වන් විසින් අල්ලස් කොමි­ස­මට දී තිබෙන බව පැව­සු­වේය.

සැක­ක­රු­වන් විසින් ඔවුන් ආදා­යම් උපයා ගත් ආකා­රය ලේඛන සහි­තව අල්ලස් කොමි­සම හමුවේ පැහැ­දිලි කර තිබි­යදී ඔවුන්ව අත්අ­ඩං­ගු­වට ගෙන රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කරන ලෙස ඉල්ලා සිටීම යුක්ති­ස­හ­ගත නොවන බව ද ඔහු කියා සිටි­යේය.

තම සේවා­දා­ය­කයා නීති විරෝධී ලෙස මැණික් පත­ලක් පව­ත්වා­ගෙන ගිය බවට අල්ලස් කොමි­සම මඟින් චෝදනා එල්ල කළත් එය  නිසි පරිදි රජ­යට බදු ගෙවා පව­ත්වා­ගෙන ගිය බවත් එම පත­ලින් තම සේවා­දා­ය­ක­යාට මැණික් හමුවූ බවත් නීති­ඥ­ව­රයා පැව­සු­වේය.

එසේ හමුවූ මැණික් ජාතික ස්වර්ණා­භ­රණ අධි­කා­රිය මඟින් සිදු කළ වෙන්දේ­සි­ය­කදී විකුණා රුපි­යල් මිලි­යන 610ක් සහ මිලි­යන 125ක් රජ­යට අය විය යුතු බදු ගෙවී­මෙන් පසුව උපයා ගත් බවත් එම සියලු ආදා­යම් පිළි­බඳ තොර­තුරු අල්ලස් කොමි­ස­මට පැහැ­දිලි කර තිබෙන බවත් කියා සිටි­යේය.

තම සේවා­දා­ය­කයා මීට සති කිහිප­ය­කට ඉහ­තදී මාස­යක පමණ කාල­යක් රක්ෂිත බන්ධ­නා­ගා­ර­ග­තව සිටි අතර ඔහු යළි රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කරන ලෙස කරනු ලබන ඉල්ලීම පිළි­ගත නොහැකි බවත් නීති­ඥ­ව­රයා චෝදනා කළේය.

තම සේවා­දා­ය­කයා සාක්ෂි­ක­රු­වන්ට බල­පෑම් සිදු කර ඇති බවට තහ­වුරු වන සාක්ෂි ඉදි­රි­පත් වී නොමැති බවත් මුදල් විශු­ද්ධි­ක­ර­ණය වැළැ­ක්වීමේ පනත යටතේ ඔවුන්ට එරෙ­හිව කිසිදු සාක්ෂි­යක් ඉදි­රි­පත් වී නොමැති නිසා සැක­ක­රු­වන් සියලු දෙනා ඇප මත මුදා­හ­රින ලෙසත් නීති­ඥ­ව­රයා අධි­ක­ර­ණ­යෙන් ඉල්ලා සිටි­යේය.

ඉදි­රි­පත් වූ සියලු කරුණු සලකා බැලූ මහේ­ස්ත්‍රා­ත්ව­රිය අන­තු­රුව මෙම සැක­ක­රු­වන් ඇප මත මුදා­හ­රී­මට නියම කළාය.

නඩුව අගෝස්තු මස 27 යළි කැඳ­වී­මට ද නිය­මි­තයි.