රත්නපුර කොළඹ ප්රධාන මාර්ගයේ ඇහැලියගොඩ, මින්නාන මංසන්ධිය ආසන්නයේදී ඊයේ (18) දහවල් ලංගම බස් රථයක් සහ කන්ටේනර් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් 23 දෙනකු තුවාල ලබා රෝහල්ගත කර ඇතැයි ඇහැලියගොඩ පොලීසිය පවසයි.
වංගුවක් සහිත ස්ථානයකදී ලංගම බස් රථයක් සහ කන්ටේනර් ලොරි රථයක් මෙලෙස මුහුණට මුහුණ ගැටීමෙන් මේ අනතුර සිදුව ඇති බවත්, බස් රථයේ රියැදුරා සහ එහි ගමන් කළ පිරිස මෙසේ තුවාල ලබා රෝහල්ගත කර ඇති බවත් පොලීසිය සඳහන් කරයි.
බස් රථය රත්නපුර දෙසින් ද ලොරිය අවිස්සාවේල්ල දෙසින් ද ධාවනය වී තිබී ඇතැයි ද පොලීසිය පවසයි.
අනතුරින් තුවාල ලබා ඇහැලියගොඩ රෝහලට ඇතුළත් කළ මගීන්ගේ තත්ත්වය බරපතළ නොවන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි. ඒ අයගෙන් දෙදෙනකු වැඩිදුර ප්රතිකාර සඳහා රත්නපුර රෝහලට මාරු කර යවා තිබුණි.
මේ අනතුරු හේතුවෙන් පැයක පමණ කාලයක් කොළඹ රත්නපුර මාර්ගයේ ගමනාගමනයට බාධා සිදු විය.