අත්අඩංගුවට ගත් ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ වෛද්‍යවරිය සිදුකර ඇති වංචාව අනාවරණය වෙයි

තෙවන පාර්ශ්වයක් හරහා වැඩි මිලට ඖෂධ උපකරණ අලෙවි කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින, ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ වෛද්‍යවරිය ඇතුළු සැකකරුවන් තිදෙනා එක්ව සිදුකළ වංචාව සම්බන්ධයෙන් තොරතුරු රැසක් මේ වන විට අනාවරණය වී තිබෙනවා.

ඒ අනුව එම ස්නායු ශල්‍ය වෛද්‍යවරිය මෙම වංචාව සිදුකර ඇත්තේ ස්නායු සැත්කම් සඳහා අවශ්‍ය වන EVD සහ VP Shunt නමැති උපකරණ වෙළඳපොළ මිලට වඩා වැඩි වටිනාකමකට තෙවැනි පාර්ශ්වයක් හරහා අලෙවි කිරීම මගින් බවයි සඳහන් වෙන්නේ.

මෙම ජාවාරමට සම්බන්ධ උපකරණයක වෙළෙඳපොළ වටිනාකම රුපියල් 30,000 – 60,000 අතර වුවත්, වෛද්‍යවරිය ඒවා අලෙවි කර ඇත්තේ රුපියල් 120,000 – 250,000 අතර මුදලකට වන බවද, අදාළ වෛද්‍යවරියගේ සැමියා ආරම්භ කළ සමාගමක් හරහා මුලදී මෙම ජාවාරම සිදුකර ඇති බවද, සිය සැමියාගේ අභාවයෙන් පසුව, අදාළ ගනුදෙනු ඇය යටතේම සිදු කරගෙන ගොස් ඇති බවද මේ වනවිට කරුණු අනාවරණය වී තිබෙනවා.

ඒ අනුව ඇය සමග මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගතව සිටින දෙදෙනාගේ සහාය ඇතිව මෙම සැත්කම් උපකරණ වැඩි මිලට අලෙවි කර ඇති බවත්, ජයවර්ධනපුර රෝහලට මෙම උපකරණ වාර්ෂික ඇස්තමේන්තු හරහා ලබාගත හැකි වුවත් අදාළ වෛද්‍යවරිය එම ක්‍රමවේදයට නොයා මෙම ජාවාරම සිදු කරගෙන ගොස් ඇති බවයි සඳහන් වෙන්නේ.

රෝගීන්ට වෙනත් ආයතනයකින් හෝ මෙම උපකරණ මිලදී ගැනීම වැළැක්වීමට, අදාළ තුන්ඩුව (prescription) පවා ලබා නොදී මෙම ජාවාරම සිදුකර ඇති අතර, ඇය යටතේ ශල්‍යකර්ම සිදු කරගත් රෝගීන් 75කගේ ප්‍රකාශ මේ වනවිට සටහන් කරගෙන ඇති බවත්, සමස්ත රෝගීන් 300කගේ පමණ ප්‍රකාශ ලබා ගැනීමට නියමිතව ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.