සයුර නමින් ධීවර රක්‍ෂණයක් හඳුන්වාදීමට පියවර

ලබන ජුලි 01 වැනිදා සිට ධීවරයින්ට, ‘සයුර’ නමින් විශේෂ හදිසි අනතුරු රක්‍ෂණ යෝජනා ක්‍රමයක් හදුන්වාදීමට කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පියවර ගෙන තිබෙනවා.

ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේද සහයෝගය ඇතිව එම රක්ෂණාවරණය ක්‍රියාත්මක කරන බවයි එම මණ්ඩලය සඳහන් කළේ.

ධීවර කර්මාන්තයේ යෙදීම නිසා සිදුවන ජීවිත අවදානම පිළිබඳව විශේෂයෙන් සලකා බලා මෙම රක්‍ෂණ යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කරන අතර, වාර්ෂිකව අලුත් කරගත හැකි ආකාරයෙන්, ධීවර ජනතාවගේ මූල්‍ය තත්ත්වයට අනුව ආවරණ මට්ටම් 03කින්, සහ ඉතා සුළු වාරික මුදලක් යටතේ දායකවිය හැකි පරිදි මෙය සකස් කර ඇති බවයි සඳහන් වෙන්නේ.

ධීවර කර්මාන්තයේ යෙදීමේදී සිදුවන හදිසි අනතුරු තත්ත්වයන් මත සිදුවන ජීවිත අහිමිවීම්, පූර්ණ හා තාවකාලික අකර්මණ්‍යතාවයන් සඳහා මෙන්ම හදිසි අනතුරු හේතුවෙන් වන රෝහල්ගතවීම් සහ අවමංගල්‍ය කටයුතු ආදිය ආවරණය කරමින් මෙම රක්ෂාවරණයෙන් ප්‍රතිලාභ හිමිවන බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.