යුද්ධය ගැන විවාදයක් ඉල්ලූ සජබ විවාද අවස්ථාව මග හරී

ඊශ්‍රායාල් සහ ඉරාන යුද්ධය නිසා අප රටට සිදුවන බලපෑම් ගැන කඩිනම් විවාදයක් කැඳවන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කතානායකවරයාගෙන් අද පෙරවරුවේ ඉල්ලා සිටි නමුත් පස්වරුවේ විවාදය පවත්වන අවස්ථාවේ සමගි ජන බලවේගයේ ඊට අදාළ මන්ත්‍රීවරුන් සභාගැබේ නොමැති බව වාර්තා වෙයි.

එම නිසා විවාදය පැවැත්වීමට නොහැකි විය.

කල් තැබීමේ යෝජනාව ඉදිරිපත් කර තිබුණේ අජිත් පී පෙරේරා මන්ත්‍රීවරයා වන අතර එම අවස්ථාවේ ඔහු සභාවේ නොසිටීම ඊට ප්‍රධාන හේතුවයි.

ඒ අනුව සභානායක බිමල් රත්නායක මහතා ඒ සම්බන්ධයෙන් පැහැදිළි කිරීමක් සිදු කළේය.

ඔහු කියා සිටියේ කල් තැබීමේ යෝජනාවක් යම් මන්ත්‍රීවරයෙක් ඉදිරිපත් කළ හොත් එම මන්ත්‍රීවරයා නොමැතිව විවාදය පැවැත්වීමට ප්‍රතිපාදනයක් පාර්ලිමේන්තුවේ නොමැති බවයි.

ඒ අනුව විවාදයක් ඉල්ලා සිටි සමගි ජන බලවේගය විවාදය ලබා දෙන අවස්ථාවේ සභාව මගහැරීම නිසා විවාදය පැවැත්වීමට නොහැකි විය.

ඊශ්‍රායල් ඉරාන යුද්ධය කේන්ද්‍ර කර ගෙන බරපතල ගැටලුවක් ඇතිව තිබෙන බවත් අප රටේ 10,000ත් 20,000ත් අතර ප්‍රමාණයක් ඊශ්‍රයාල් රටේ රැකියා කරන බවත් මොවුන්ගේ ජීවිත ආරක්ෂාව ගැන ගැටලුවක් ද ඇති බවත් පෙන්වා දෙමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පෙරවරුවේ විවාදයක් ඉල්ලා සිටියේ.

අප රටේ තේ අපනයන ගමනාන්තයක් ලෙස ප්‍රධානතම තැනක් ඉරානය ගන්නා බවත් මේ යුදමය තත්ත්වය තුළ තේ කර්මාන්තයට අපනයනවලට මුහුණ දෙන්න ඇති බරපතල තත්ත්වය ගැන සාකච්ඡා කළ යුතු බවත් ඔහු සඳහන් කලේය.

මෙම යුද්ධය  නිසා තෙල් මිලට ද විශාල බලපෑමක් විය හැකි බවත් එය ආර්ථික වර්ධනයට නිෂ්පාදන ධාරිතාවට කර්මාන්ත පද්ධතිය ඇතුළු සමස්ත ජන පරපුරට විශාල අගතිගාමී තත්ත්වයක් ඇතිවිය හැකි බව සජිත් ප්‍රේමදාස මහතා අද පෙරවරුවේ පෙන්වා දුන්නේ.

එම නිසා විධිමත් සාකච්ඡාවක් සදහා ප්‍රවේශ විය යුතු බව පැවසු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ ස්ථාවර නියෝග 19 (2) ඈ යටතේ පැවරී ඇති බලතල ප්‍රකාරව පාර්ලිමේන්තුවේ දී ඊශ්‍රායාල් ඉරාන යුද්ධයෙන් අප රටට සිදුවන බලපෑම ගැන විවාදයක් අවශ්‍ය බවයි.

එම යෝජනාව සඳහා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 20 දෙනකුට වැඩි ප්‍රමාණයකගේ කැමැත්ත ද හිමි විය.

ඒ අනුව විවාදය ලබා දීමට රජය පාර්ශ්වය ද එකඟ වූ අතර ඒ අනුවයි පස්වරුවේ විවාදයක් පැවැත්වීමට තීරණය කළේ.

පාර්ලිමේන්තුවේ දෛනික කටයුතු අවසානයේ විවාදය ලබා දීම සඳහා සූදානම් වූ අතර කල් තැබීමේ යෝජනාව ඉදිරිපත් කර තිබු අජිත් පී පෙරේරා මන්ත්‍රීවරයා එම අවස්ථාවේ සභාවේ සිටියේ නැහැ.

එම නිසා ස්ථාවර නියෝගවලට ඔහු නොසිටීම නිසා විවාදය පැවැත්වීමට නොහැකි විය.