සරණක් අවැසි වැඩිහිටියන් පිළිබඳ තොරතුරු ලබාදීමට WhatsApp අංකයක් හඳුන්වාදෙයි

‘ලෝක වැඩිහිටි අපයෝජන පිළිබඳ දැනුවත් කිරීමේ දිනය’ට සමගාමීව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබල ගැන්වීම් අමාත්‍යංශයට අනුබද්ධ ජාතික වැඩිහිටි මහ ලේකම් කාර්යාලය මගින් වැඩිහිටි ප්‍රජාව වෙනුවෙන් ‘සරණ’ නමින් උපකාරක සේවාවක් ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව දරුවන් විසින් නොසලකා හරින, සරණක් අවැසි වැඩිහිටියන් පිළිබඳ තොරතුරු ලබාදීම සඳහා ජාතික වැඩිහිටි මහ ලේකම් කාර්යාලය WhatsApp අංකයක් හඳුන්වා දී තිබෙන අතර 070-7898889 යන අංකයට මෙවැනි සිද්ධීන් සම්බන්ධයෙන් තොරතුරු ලබාදිය හැකි බවයි එම අමාත්‍යංශය සඳහන් කළේ.

මෙම අවස්ථාව සංකේතවත් කරමින් ඊයේ (16) ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබල ගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ හා නියෝජ්‍ය අමාත්‍ය වසන්ත පියතිස්සගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යංශ පරිශ්‍රයේදී නිල වශයෙන් එම අංකය හඳුන්වා දෙනු ලැබුවා.

එමෙන්ම වැඩිහිටි අපයෝජනය පිළිබඳව දීප ව්‍යාප්තව ජනතාව දැනුවත් කිරීමේ අවස්ථාව සංකේතවත් කරමින් කොඩි පැළඳවීමක් ද සිදු කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.